වසර හතකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නායකත්වය දුන් සභාපති ෂම්මි සිල්වා මහතා අද (28) සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ක්‍රිකට් විධායක කමිටුව විසින් පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී ඔහු සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට සමගාමීව සමස්ත විධායක කමිටුවම සිය ධූරවලින් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය 2025 වසරේ මාර්තු මාසයේදී යළිත් වරක් එම තනතුර සඳහා තේරී පත් වූ ඒ මහතාගේ නිල කාලය 2027 වසරේ මැයි මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද, මෑතකදී එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් ඔහුට මෙලෙස සිය තනතුරෙන් සමුගැනීමට සිදුව තිබේ.මෙම හදිසි ඉල්ලා අස්වීම සඳහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දුන් දැඩි නියෝග සහ රජය පාර්ශ්වයෙන් එල්ල වූ බලපෑම් ප්‍රබල ලෙස හේතු වී ඇත. ඊට අමතරව, මෑතකදී නිමාවට පත් වූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දැක්වූ අතිශය දුර්වල ක්‍රීඩා විලාශය මෙන්ම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම හේතුවෙන් දේශීය ක්‍රීඩාලෝලීන් දැඩි කලකිරීමකට පත්ව සිටියහ. තවද, කාලාන්තරයක් තිස්සේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව නැඟුණු මූල්‍ය අක්‍රමිකතා, දූෂණ සහ අකාර්යක්ෂමතා චෝදනා මුල් කරගනිමින් මහා සංඝරත්නය, විවිධ සිවිල් සංවිධාන සහ සාමාන්‍ය ජනතාව වීදි බැස සිදු කළ දැවැන්ත විරෝධතා ද මෙම පරිපාලන වෙනස සඳහා සෘජුවම බලපා තිබේ.
පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා රජය විසින් විශේෂ අතුරු පාලන කමිටුවක් පත් කිරීමට මේ වන විටත් සැලසුම් කරමින් පවතී. මෙම නව අතුරු කමිටුවේ සභාපතිවරයා වශයෙන් දක්ෂ පරිපාලකයෙකු මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, රජයේ මූලික අපේක්ෂාව වී ඇත්තේ හැකි ඉක්මනින් නිලවරණයක් පවත්වා සුදුසුකම් ලත් නව පාලක මණ්ඩලයක් වෙත ක්‍රිකට් පරිපාලනය භාර දීමයි.
රජය විසින් ක්‍රිකට් පරිපාලනයට මැදිහත් වීම මත මීට පෙර 2023 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. එහෙත්, රට තුළ උද්ගතව ඇති මෙම නවතම තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, කඩිනම් ක්‍රියාවලියක් හරහා නිලවරණය පවත්වන්නේ නම් අතුරු කමිටුවක් පත් කිරීමේ ක්‍රියාමාර්ගය සඳහා ඔවුන්ගේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
