after-the-drug-cases-trinitarian-leaders-come-to-meet-the-president-and-talk

කටුනායක ගුවන් තොටුපොළේදී මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සහ ඒ ආශ්‍රිතව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර විශේෂ හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු මෙන්ම ඉන් අනතුරුව සමාජය තුළ නිර්මාණය වී ඇති කතිකාවත පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ වර්තමානය වන විට මත්ද්‍රව්‍ය උවදුර සමස්ත රටටම බලපාන ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි. එබැවින් මෙම අර්බුදය මැඩපැවැත්වීම උදෙසා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළට සියලු දෙනාගේම ශක්තිමත් දායකත්වය සහ සහයෝගය අත්‍යවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය. තවද, රටේ ආර්ථිකය සහ සමාජ ක්‍රමය නව දිශානතියකට යොමු කරන අතරවාරයේදී සම්බුද්ධ ශාසනය මෙන්ම ඒ හා බැඳුණු උසස් සාරධර්ම ආරක්ෂා කර ගැනීම වත්මන් රජයේ ප්‍රධානතම අරමුණක් බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා විසින් මෙහිදී මහා සංඝරත්නය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය. ඊට ප්‍රතිචාර දක්වමින් මහානායක ස්වාමීන් වහන්සේලා සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විටත් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එය සමස්ත සංඝ සමාජයේම පොදු අදහස ලෙස සලකන ලෙසත්ය. එසේම, සංඝ සමාජයේ ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කිරීම භික්ෂූන් වහන්සේලාට පමණක් තනිව සිදු කළ හැක්කක් නොවන බැවින් ඒ සඳහා රජයේ මැදිහත්වීම සහ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද උන්වහන්සේලා මෙහිදී පෙන්වා දී තිබේ.

සම්බුද්ධ ශාසනයේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම විහාර හා දේවාලගම් පනත ඇතුළු අදාළ නීතිරීතිවල සිදු කළ යුතු කාලීන සංශෝධන සම්බන්ධයෙන් ද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. මෙම විශේෂ සාකච්ඡාව සඳහා ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා, රජයේ කැබිනට් අමාත්‍යවරුන්, නීතිපතිවරයා, පොලිස්පතිවරයා මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.