
අධික ලෙස මත්පැන් පානය කරමින් පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථයක් ධාවනය කළ වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී දින දෙකක් ඇතුළත ඔහු එම ස්ථානයෙන් මාරු කර යවන බවට තර්ජනය කිරීම ද විශේෂත්වයකි.
වැල්ලවාය, රංදෙණිය, කීරියගොල්ල පාරේ පදිංචිකරුවෙකු වන මෙම සැරයන්වරයාට එරෙහිව සාපරාධී බලහත්කාරය ඇතුළු චෝදනා රැසක් යටතේ මේ වන විට නීතිමය පියවර ගෙන ඇත.නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටි මෙම පොලිස් නිලධාරියා මත්පැන් පානය කර ප්‍රදේශයේ නිතර ගැටුම් ඇති කරගන්නා බවට වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. ඒ අනුව කීරියගොල්ල හන්දිය අසලදී පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු පදවාගෙන ආ ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළ ද ඔහු එය නොතකා ධාවනය කර ඇති බව සඳහන් වේ. අනතුරුව පොලිස් නිලධාරීන් එම රථය පසුපස හඹා ගොස් එය නවත්වා ගැනීමට සමත් වී ඇති අතර, එහිදී සැකකාර සැරයන්වරයා පොලිස් රාජකාරියට දැඩි ලෙස බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පදවාගෙන ආ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව එම වාහනය පදවා ඇති බවයි. ඊට අමතරව එම රථය සඳහා අවශ්‍ය ආදායම් බලපත්‍රය හෝ රක්ෂණ සහතිකයක් ද නොතිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අධික ලෙස බීමත්ව සිටි මෙම නිලධාරියා සිය වෘත්තීය මට්ටම ද අමතක කරමින් උසස් නිලධාරීන්ට අභියෝග කරමින් තර්ජනාත්මක ස්වරූපයෙන් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රබල වී ඇත.
බීමත්ව රිය පැදවීම, පොලිස් අණ නොතකා ධාවනය කිරීම, වලංගු බලපත්‍ර නොමැතිව වාහනයක් පැදවීම සහ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන කරුණු මත සැකකාර සැරයන්වරයාට එරෙහිව වැල්ලවාය පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබේ. මේ වන විට සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

