how-poland-used-robotics-to-exterminate-wild-boars

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල රොබෝවරුන් ලෝකය බේරාගන්නා අයුරු අප දැක ඇතත්, සැබෑ ලෝකයේදී ඔවුන්ට පැවරී ඇති නවතම රාජකාරිය තරමක් හාස්‍යජනක මෙන්ම පුදුම සහගත එකකි. ඒ, මහ රෑ වීදි පුරා සැරිසරන වන ඌරන් පසුපස පන්නමින් ඔවුන්ට බැන වැදීමයි.




පෝලන්තයේ වෝර්සෝ නුවරින් පසුගියදා වාර්තා වූ මෙම අපූරු සිදුවීම මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර යමින් තිබේ. 'එඩ්වඩ් වෝර්චොකි' (Edward Warchocki) ලෙස නම් කර ඇති මිනිස් හැඩරුවැති රොබෝවරයෙකු, රාත්‍රී කාලයේ නගරයේ මාර්ගයක සිටින වල් ඌරන් රංචුවක් දෙසට දිව යමින් පෝලන්ත බසින් "පලයන් යන්න!" යැයි කෑගසන අයුරු එම වීඩියෝවේ දැක්වේ. රොබෝවාගේ මෙම හදිසි ප්‍රවේශයෙන් බියට පත්වන ඌරන් කැලෑව දෙසට පලා යන අතර, ඔවුන්ව අල්ලා ගැනීමට නොහැකි වූ තැන රොබෝවරයා කලකිරීමෙන් යුතුව අත් විසි කරන අයුරුද එහි සටහන්ව ඇත. පසුගිය අප්‍රේල් 12 වැනිදා අන්තර්ජාලයට එක්කළ මෙම දර්ශන, රොයිටර්ස් පුවත් සේවය විසින් සිය විදෙස් පුවත් අංශය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ මෙය අපූරු මෙන්ම විනෝදාත්මක සිදුවීමක් ලෙස සලකමිනි.

බැලූ බැල්මට මෙය නගර බලධාරීන් විසින් වන සතුන් පලවා හැරීම සඳහා ආරම්භ කළ නිල වැඩසටහනක් යැයි කෙනෙකුට සිතිය හැකිය. නමුත් සත්‍යය නම්, මෙය හුදෙක්ම සමාජ මාධ්‍ය අවධානය දිනාගැනීම උදෙසා නිර්මාණය වූවක් වීමයි. චීනයේ නිපදවන ලද Unitree G1 නම් රොබෝ මාදිලියට පෝලන්ත ජාතික අනන්‍යතාවක් ලබා දෙමින් 'එඩ්වඩ්' නමැති මෙම අන්තර්ජාල චරිතය ගොඩනඟා ඇත. මෙය කෘත්‍රිම බුද්ධියේ පුදුම සහගත ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයක් ලෙස පෙනී ගියද, තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙවැනි රොබෝවරුන් බොහෝ විට දුරස්ථ පාලක මගින් හෝ දැඩි පෙර-පුහුණුවීම් මත ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, මෙම විනෝදාත්මක වීඩියෝව පිටුපස සැඟවුණු බරපතල සමාජ ගැටලුවක්ද තිබේ. එනම්, වෝර්සෝ නුවර මේ වන විට මුහුණ දී සිටින දැඩි වන ඌරු කරදරයයි.




පෝලන්තයේ නගරවලට වල් ඌරන් කඩා වැදීම අලුත් දෙයක් නොවේ. මිනිසුන් විසින් බැහැර කරන කසළ සහ ආහාර සොයාගෙන නේවාසික ප්‍රදේශවලට සහ කාර්යබහුල මාර්ගවලට මෙම සතුන් පැමිණීම හේතුවෙන් නගරවාසීහු නිරන්තරයෙන්ම පීඩාවට පත්ව සිටිති. මෙම සතුන්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙස වෝර්සෝ සහ ක්‍රැකෝව් නගර බලධාරීන් මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා ඇති අතර, ග්ඩිනියා නගරය ඌරන් පලවා හැරීම සඳහා සැර සුවඳැති මල් වර්ග වැවීමට පවා අත්හදා බැලීම් කර තිබුණි. සතුන් ඝාතනය කිරීම හරහා ජනගහනය පාලනය කිරීමට ගත් උත්සාහයන් සත්ව අයිතීන් සුරකින සංවිධානවල දැඩි විරෝධයට ලක්වූ බැවින්, නාගරික වනජීවී කළමනාකරණය යනු මේ වන විට එරට බලධාරීන්ට විසඳාගත නොහැකි ගැටලුවක් වී හමාරය.

වන සතුන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වෙමින් පවතින පසුබිමක, ඔවුන් ආහාර සොයා නගරවලට අනුවර්තනය වීම තවදුරටත් වළක්වාලිය නොහැක. මහ රෑ වන ඌරන් පසුපස දිව යන රොබෝවරයෙකුගේ දර්ශනය අද දවසේ අපට සිනහවක් ගෙන ආවත්, එය හෙට දවසේ අපගේ නවීන තාක්ෂණික ලෝකය සහ අසරණ වූ සොබාදහම අතර ඇතිවිය හැකි ගැටුමේ එක් සංකේතාත්මක පෙරනිමිත්තක් පමණක් වනු ඇත.

how-poland-used-robotics-to-exterminate-wild-boars

how-poland-used-robotics-to-exterminate-wild-boars

how-poland-used-robotics-to-exterminate-wild-boars

how-poland-used-robotics-to-exterminate-wild-boars

how-poland-used-robotics-to-exterminate-wild-boars

gossiplanka image