south-african-politician-swims-through-giant-mud-pit-to-point-out-broken-roads-in-johannesburg

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (Democratic Alliance) ජොහැන්නස්බර්ග් නගරාධිපති අපේක්ෂිකාව මෙන්ම ප්‍රවීණ දේශපාලඥයෙකු වන 75 හැවිරිදි හෙලන් සිලේ (Helen Zille) පසුගිය  දින අපූරු විරෝධතාවක නිරත වූවාය. කේප් ටවුන් නුවර හිටපු නගරාධිපතිනියද වන ඇය කිමිදුම් ඇඳුමකින්, ස්නෝකල් මුහුණු ආවරණයකින් සහ රෝස සහ සුදු පැහැති පිහිනුම් තොප්පියකින් සැරසී ජොහැන්නස්බර්ග් නුවර ඩග්ලස්ඩේල් (Douglasdale) නම් ඉහළ පෙළේ තදාසන්න ප්‍රදේශයේ පිහිටි ජලයෙන් පිරුණු යෝධ මඩ වළකට බැස පිහිනීමට කටයුතු කළාය.

මෙය හුදෙක් සාමාන්‍ය මාර්ගයක ඇති වූ කුඩා වළක් නොව, පුපුරා ගිය ජල නළයක් හේතුවෙන් නිර්මාණය වූ විශාල අගලක් විය. නළය අලුත්වැඩියා කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර තිබුණද, වසර තුනක පමණ කාලයක සිට එම ගැටලුවට නිසි විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව සිලේ එහිදී ප්‍රකාශ කළාය. පෞද්ගලික ධනය අතින් අප්‍රිකාවේ ධනවත්ම නගරයක් ලෙස සැලකෙන සහ 'රන් නගරය' ලෙස විරුදාවලිය ලත් ජොහැන්නස්බර්ග් නුවර පවතින දුර්වල නගර කළමනාකරණය, කැඩී ගිය මාර්ග, ජලය සහ විදුලිය කප්පාදු කිරීම් ඇතුළු සේවා සැපයීමේ අසාර්ථකත්වය දැඩි ලෙස විවේචනය කිරීම සඳහා ඇය මෙම ක්‍රියාව උපයෝගී කර ගත්තාය.

තමන් මෙම මඩ සහිත ජලයේ පිහිනමින්, මාර්ගයේ ඇති වූ අගල පොදු පිහිනුම් තටාකයක් ලෙස භාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඇය අන්තර්ජාලයට එක් කර තිබුණි. එම වීඩියෝවෙහි සෙනසුරාදා දහවල් කාලයේ කිමිදීමක් භුක්ති විඳින බවට විහිළු කරමින්, ඇය මාළුන් සොයන අයුරින් තම හිස ජලයට ඔබන ආකාරයද දක්නට ලැබුණි. නගර සභාවක් විසින් වසර ගණනාවක් පුරා ජලයෙන් පිරුණු වළක් නොසලකා හැරියහොත් එය මාර්ගයක දෝෂයකට වඩා අනවශ්‍ය පොදු පිහිනුම් තටාකයක් ලෙස පෙනෙන්නට පටන් ගන්නා බව පෙන්වා දුන් මෙම ක්‍රියාව, සාමාන්‍ය මහජන පැමිණිල්ලක් හාස්‍යජනක දර්ශනයක් බවට පත් කළ බැවින් එය ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත වූ අතර රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවලද දැඩි අවධානයක් දිනා ගත්තේය.

මෙම වීඩියෝව අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර යාමෙන් අනතුරුව ප්‍රතිචාර දැක්වූ ජොහැන්නස්බර්ග් නගරාධිපති දාදා මොරේරෝ ප්‍රකාශ කළේ, වසර තුනක සිට නිරන්තරයෙන් දෝෂයට ලක් වූ නළයක් හේතුවෙන් මෙම වළ නිර්මාණය වී ඇති බවයි. කෙසේ වෙතත්, සිලේ ගේ මෙම ක්‍රියාවෙන් පසුදිනම අදාළ ජල නළය අලුත්වැඩියා කර මාර්ගයේ වූ වළ වසා දැමීමට නගර සභාව පියවර ගෙන තිබුණි. මේ අතරතුර, මෙවැනි අනතුරුදායක ක්‍රියාවන් අනුකරණය කිරීමෙන් වළකින ලෙස නගරාධිපතිවරයා දරුවන්ට අනතුරු ඇඟවීමක්ද සිදු කළ අතර, පසුව අදාළ ජල නළය නැවතත් පුපුරා ගිය බවට ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය විසින් තවත් වීඩියෝවක් මගින් චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.