පා තැබුවහොත් මරණය නියත බව දැන දැනත්, ඩයට් කෝක් බෝතලයක් සහ පොල් ගෙඩියක් රැගෙන ලෝකයේ භයානකම දූපතකට රහසින් පැන ගිය තරුණයෙකු ගැන ඇසුවහොත් ඔබට කුමක් සිතෙනු ඇත්ද?
මෙම අදහාගත නොහැකි සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ අන්දමන් සහ නිකෝබාර් දූපත් සමූහයට අයත් 'නෝර්ත් සෙන්ටිනල්' දූපතිනි. බාහිර ලෝකය සමඟ කිසිදු සබඳතාවක් නොමැතිව ජීවත් වන ආදිවාසීන් පිරිසක් වෙසෙන මෙම දූපතට ජීපීඑස් තාක්ෂණයේ ආධාරයෙන් රහසින් ඇතුළු වූ 24 හැවිරිදි ඇමෙරිකානු යූටියුබ්කරුවෙකු වන මයිකයිලොවිච් පොලියාකොව් පසුගියදා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇරිසෝනා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන ඔහු, ආදිවාසීන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විසිල් නාද කර ඇති අතර, ඔවුන්ට තෑග්ගක් ලෙස ඩයට් කෝක් බෝතලයක් සහ පොල් ගෙඩියක් වෙරළේ තබා ඇත. පැයක් පමණ එහි රැඳී සිටිමින් වීඩියෝ දර්ශන පටිගත කර, වෙරළේ වැලි ස්වල්පයක් ද සාක්කුවේ දමාගෙන ආපසු එමින් සිටියදී ධීවරයන් පිරිසකට හසුවීමෙන් පසු ඔහු පෝට් බ්ලෙයාර් නුවරදී නීතියේ රැහැනට කොටු විය.
වසර දහස් ගණනක සිට නවීන ලෝකය ගැන කිසිදු අවබෝධයක් නොමැතිව ජීවත් වන සෙන්ටිනල්වරු, තමන්ගේ භූමියට ඇතුළු වන ඕනෑම ආගන්තුකයෙකු දකින්නේ සතුරෙකු ලෙසිනි. දුනු, ඊතල සහ හෙල්ල රැගෙන වෙරළේ මුර සංචාරයේ යෙදෙන ඔවුන්, තම දූපතට පය තබන ඕනෑම අයෙකුට අනුකම්පා විරහිතව මරණය තෑගි කරති. 2006 වසරේදී මුහුදේ අතරමං වී මෙම දූපතට ගොඩබට ධීවරයන් දෙදෙනෙකු මෙන්ම, 2018 වසරේදී ආගමික ප්‍රචාරක කටයුත්තක් සඳහා එහි ගිය ජෝන් ඇලන් චවු නමැති ඇමෙරිකානු ජාතිකයාද මෙම ආදිවාසීන්ගේ ඊතල පහරින් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත් වූහ. එතරම් රුධිරය වැගිරුණු ඉතිහාසයක් ඇති දූපතකට, හුදෙක් අන්තර්ජාලය තුළ ජනප්‍රිය වීමේ අරමුණින් පමණක් යූටියුබ්කරුවෙකු ඇතුළු වීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
ඉන්දීය රජය විසින් නාවික හමුදා නැව් යොදවා මෙම දූපත වටා සැතපුම් තුනක සීමාවකට ඇතුළුවීම තහනම් කර ඇත්තේ හුදෙක් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොවේ. බාහිර ලෝකය හා සබඳතා නොමැති සෙන්ටිනල් ජනතාවට, සාමාන්‍ය මිනිසුන්ට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි සුළු රෝගයක් වුවද දරාගැනීමේ ප්‍රතිශක්තියක් නොමැත. එබැවින් පිටස්තරයෙකුගේ එක් කුඩා ස්පර්ශයක් වුවද සම්පූර්ණ ගෝත්‍රයක්ම මිහිමතින් අතුගා දැමීමට තරම් ප්‍රබල විය හැක. තම ජීවිතය මෙන්ම ලෝකයේ ඉතිරිව සිටින දුර්ලභම මානව කොට්ඨාසයක පැවැත්මද අනතුරේ හෙළමින් 'වයිරල්' වීමට දරන මෙවැනි අදූරදර්ශී වෑයම්, නූතන අන්තර්ජාල සංස්කෘතියේ ඇති භයානක පැතිකඩක් සමාජයට පෙන්වා දෙයි.
ලෝකය කොතරම් නවීකරණය වුවද, තමන්ගේ හුදෙකලාවට කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩ නොදෙන නෝර්ත් සෙන්ටිනල් දූපත්වාසීන්, ස්වභාවධර්මයේ අඳුරු සහ අපරාජිත රහසක් ලෙස තවදුරටත් ඉතිරි වනු ඇත.
