
ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ක්‍රියාත්මක කරන ලද සියයට 12.5ක බස් ගාස්තු සංශෝධනයට මුවා වෙමින්, පෞද්ගලික බස් රථ සේවකයින් මගීන්ගෙන් අත්තනෝමතික ලෙස ගාස්තු අය කරන බවට දැඩි විරෝධයක් මතු වී තිබේ. විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ධාවනය වන බොහෝ පෞද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් නියමිත ගාස්තුවට වඩා ඉහළ මුදලක් මගීන්ගෙන් අය කරගන්නා බව වාර්තා වේ.
නව ගාස්තු වැඩි කිරීම සිදු කර මේ වන විට සතියක පමණ කාලයක් ගත වී ඇතත්, කිසිදු බස් රථයක සංශෝධිත නව ගාස්තු සටහනක් ප්‍රදර්ශනය කර නොමැති වීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර කර ඇත. එමෙන්ම, ගමන් කරන දුර ප්‍රමාණය සහ අදාළ ගාස්තුව සටහන් වූ ප්‍රවේශ පත්‍රයක් මගීන්ට ලබා දීම බොහෝ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම මඟහැර ඇති බැවින් මහජනතාව දැඩි ව්‍යාකූලත්වයකට සහ පීඩාවකට පත්ව සිටිති.
මීට අමතරව, රුපියල් දහයට අඩු ඉතිරි මුදල් මගීන්ට ලබා දීම ප්‍රතික්ෂේප කරන ඇතැම් කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් එම මුදල්ද තමන් සතු කර ගන්නා බවට මගීහු මැසිවිලි නගති. දෛනිකව ඔවුන් අතට පත්වන මාරු කාසි පසුදින සේවයට වාර්තා කිරීමේදී බස් රථයට ගෙන නොඒම හේතුවෙන් මෙම කෘතිම මාරු කාසි හිඟය නිර්මාණය වී ඇත.
මෙම අසාධාරණ ක්‍රියාකලාපය හේතුවෙන් දෛනිකව පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාව මහත් අපහසුතාවකට මුහුණ දී සිටිති. එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම බස් රථ තුළ නව බස් ගාස්තු පුවරු ප්‍රදර්ශනය කිරීමටත්, සෑම මගියෙකුටම අනිවාර්යයෙන්ම ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම තහවුරු කිරීමටත් අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවට ඔවුහු බලකර සිටිති.

