a-clean-house-for-the-family-who-came-from-canada-and-settled-in-galle

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක නිවාස සංකීර්ණයක ලැගුම් ගෙන සිටි කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලකට අයත් රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා දේපළ සහ මුදල් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සංචාරක පිරිසට කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික යුවළක්, ඔවුන්ගේ පුත්‍රයා සහ ඔහුගේ කැනේඩියානු ජාතික බිරිඳ ඇතුළත් වන අතර, ඔවුන් මෙම නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ පිහිටි නිවසක කාමර දෙකක නතර වී සිට ඇත.




මෙම පිරිස දිනක සංචාරයක් සඳහා පිටව යාමට පෙර පුත්‍රයාගේ සහ ලේලියගේ කාමරයේ තිබූ පරිගණක සහ මුදල් අඩංගු ගමන් මලු ආරක්ෂාව පතා මව්පියන් නතර වී සිටි කාමරයේ තබා ඇත. අනතුරුව එම කාමරය අගුලු දමා එහි යතුරු සංකීර්ණයේ ආරක්ෂක අංශය වෙත භාර දී ඔවුන් සිය සංචාරය සඳහා පිටව ගොස් තිබේ. පසුදින සංචාරය නිමවා යළි පැමිණි අවස්ථාවේදී මව්පියන්ගේ කාමරයේ ජනෙල් විවෘතව ඇති බවත්, එහි තිබූ ගමන් මලු අවුස්සා දේපළ සොරාගෙන ඇති බවත් ඔවුන් විසින් නිරීක්ෂණය කර ඇත.

මෙම සොරකමින් ටැබ් පරිගණක දෙකක්, කැනේඩියානු ඩොලර් 900ක් සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ ගණනාවක මුදලක් අස්ථානගත වී ඇති බවට පවුලේ පියා විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. අදාළ නිවස පිටුපසින් සිව්වන මහල දක්වා පලංචි බැඳ තිබීම හේතුවෙන් සොරකම සඳහා පැමිණි පුද්ගලයින් එම පලංචි හරහා ජනේලයෙන් ඇතුළු වන්නට ඇති බවට සැක පළ කෙරේ. කෙසේ වෙතත්, සොරකම් කරන ලද දේපළවල සම්පූර්ණ වටිනාකම මේ වන තෙක් නිශ්චිතව ගණනය කර නොමැත.