ප්‍රංශ නාවිකයෙකුගේ නොගෙවූ මත්පැන් බිලකින් ලෝක වාර්තාවක ආරම්භය සනිටුහන් වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. නමුත් දෛවය සිය අපූරු කතාන්දර ලියා තබන්නේ එලෙසිනි.
ජර්මනියේ බර්ලින් සත්වෝද්‍යානයේ වෙසෙන 'ෆාටු' (Fatou) නම් වූ ලොව වයස්ගතම ගෝරිල්ලා පසුගියදා සිය 69 වැනි උපන්දිනය සැමරුවාය. බටහිර පහතරට ගෝරිල්ලා විශේෂයට අයත් ඇය, 2026 අප්‍රේල් 13 වැනිදා සිය උපන්දිනය සැමරුවේ සීනි පිරුණු කේක් ගෙඩියකින් නම් නොවේ. වයස්ගත ඇගේ සෞඛ්‍යයට හිතකර චෙරි තක්කාලි, බීට්, ලීක්ස් සහ සලාද කොළවලින් සමන්විත වූ විශේෂිත එළවළු සහ මල් කූඩයක් ඇය වෙනුවෙන්ම සූදානම් කර තිබුණි. ඒ මත '69' ලෙස අලංකාරව සටහන් කර තිබූ අතර, ඇය ඉතා සන්සුන්ව සිය උපන්දින භෝජනය රස විඳින අයුරු දැකගැනීමට විශාල පිරිසක් සහ මාධ්‍යවේදීන් එදින සත්වෝද්‍යානයට එක්රොක් වී සිටියහ.
1957 වසරේ අප්‍රිකානු වනාන්තරයක උපත ලබා, ප්‍රංශ නාවිකයෙකුගේ ගමන් මල්ලක සිරවී යුරෝපයට පැමිණි මේ අපූරු සත්වයාගේ කතාව හුදෙක් එක් සතෙකුගේ ජීවිත කතාවකට වඩා බෙහෙවින් ගැඹුරුය. ප්‍රංශයේ මාර්සේල් නුවර තැබෑරුමක බිල ගෙවා ගැනීමට නොහැකි වූ නාවිකයා විසින් තැබෑරුම්කාරියට ලබා දුන් ඒ කුඩා ගෝරිල්ලා පැටවා, 1959 මැයි මාසයේදී බර්ලින් සත්වෝද්‍යානයට ගෙන එනු ලැබුවේ තවත් සත්ව වෙළෙන්දෙකු හරහාය. එදා මෙදා තුර වසර 66කට වැඩි කාලයක් පුරා බර්ලින් සත්වෝද්‍යානයේ ජීවත් වන ඇය, මේ වන විට පරම්පරා ගණනාවක ආදිමාතාවකි. 1974 දී බර්ලින් සත්වෝද්‍යානයේ උපන් පළමු ගෝරිල්ලා පැටවා වන 'ඩෆ්ටේ' බිහිකළ ෆාටුට, මේ වන විට මුණුබුරු මිණිබිරියන්, මී-මුණුබුරන් ඇතුළු පරම්පරා හතරක් පුරා විහිදුණු ජීවමාන දැවැන්ත පවුල් ගසක් හිමිය.
සාමාන්‍යයෙන් වනාන්තරයක ජීවත් වන ගෝරිල්ලෙකුගේ ආයු කාලය වසර 35ත් 40ත් අතර වේ. කෙසේ වෙතත්, සත්වෝද්‍යානවල විශේෂිත රැකවරණය යටතේ ඔවුන්ට වසර 50ක පමණ කාලයක් ජීවත් විය හැකි වුවද, ගිනස් වාර්තා පොතටද එක්වී සිටින ෆාටු ඒ සියලු සීමාවන් අතික්‍රමණය කර ඇත. දඩයම් කිරීම්, රෝගාබාධ සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බටහිර පහතරට ගෝරිල්ලන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් කෙතරම් වැදගත්ද යන්න ඇගේ මෙම දීර්ඝායුෂ මගින් මනාව ඔප්පු වේ.
ඇය බටහිර බර්ලිනයට පැමිණියේ ලෝක බලවතුන් අතර සීතල යුද්ධය පැවති අඳුරු සමයේදීය. දශක හතකට ආසන්න කාලයක් පුරා ලෝකයේ සිදුවූ දැවැන්ත පෙරළි දෙස නිහඬව බලා සිටි ඇයටද දැන් වයසට යාමේ සලකුණු පහළ වී ඇත. ඇගේ දත් බොහොමයක් හැලී ගොස් ඇති අතර, සුළු ආතරයිටිස් තත්ත්වයක් සහ ශ්‍රවණාබාධ ද පවතී. තරුණ ගෝරිල්ලන්ගේ කලබලකාරී බවෙන් මිදී වෙනම කුටියක නිදහසේ කාලය ගත කිරීමට ඇය දැන් ප්‍රිය කරන්නීය. "ඇය සේවකයන් සමඟ ඉතා මිත්‍රශීලීයි, ඒත් තාමත් ටිකක් මුරණ්ඩුයි. වයස 69ක් වුණාම ඒ මුරණ්ඩුකමේ කිසි වැරැද්දකුත් නැහැ" යනුවෙන් ප්‍රයිමේට් සතුන් පිළිබඳ භාරකරු ක්‍රිස්ටියන් ඔස්ට් පවසන්නේ ඒ නිසාය.
කාලය විසින් ලෝකයේ බොහෝ දෑ වෙනස් කළද, මිනිස් කෲරත්වය මැදින් සිය නිජබිමෙන් උදුරාගනු ලැබූවද, ඉන් නොනැසී මිනිස් ආදරය මැදින් ලෝක වාර්තාවක් තැබූ මේ අපූරු 'මහලු ආර්යාවගේ' අමරණීය කතාව, සොබාදහමේ සැබෑ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව අපට කියා දෙන්නේ නිහඬ එහෙත් ප්‍රබල පාඩමකි.



