මිනිස් සිරුරක් තුළ සිරවී සිටින වන සතුන් යැයි තමන් විසින්ම විශ්වාස කරන යොවුන් වියේ දරුවන්, සැබෑ සතුන්ගේ මුහුණු ආවරණ සහ වලිග පැළඳගෙන නගරයේ උද්‍යාන හරහා හතරගාතෙන් දුවන දසුනක් මොහොතකට සිතින් මවාගන්න.
මේ වන විට ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර ප්‍රධාන උද්‍යාන මෙවැනි අසාමාන්‍ය දසුන්වලින් පිරී ගොස් ඇති අතර, 'තීරියන්' (Therian) ලෙස හැඳින්වෙන මෙම නවතම සමාජ මාධ්‍ය රැල්ල එරට යොවුන් පරපුර අතර ලැව්ගින්නක් සේ පැතිර යමින් තිබේ. ටික්ටොක් ජාලය හරහා මිලියන දෙකකට අධික වීඩියෝ දර්ශන ප්‍රමාණයක් නිර්මාණය කරමින් ලොව පුරා ප්‍රචලිත වූ මෙම සංකල්පය, හුදු විනෝදයට එහා ගිය, මානසික සහ අධ්‍යාත්මික වශයෙන් සතුන් ලෙස ජීවත් වීමට තරුණ පරපුර දරන ප්‍රබල උත්සාහයකි.
පහළොස් හැවිරිදි අගුවාරා යනු මෙම රැල්ලට නායකත්වය දෙන එක් ප්‍රධාන චරිතයකි. තමා බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛයෙකු ලෙස හඳුන්වා ගන්නා ඇය, සිය වයස ගණනය කරන්නේද 'සුනඛ වර්ෂ' වලිනි. ටික්ටොක්හි ලක්ෂයකට අධික අනුගාමිකයින් පිරිසක් සිටින ඇය, මිනිසෙකු ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කළද තමාටම ආවේණික වූ 'සුනඛ මොහොතවල්' ඇති බව පවසන්නීය. අගුවාරා මෙන්ම මුහුදු සිංහයෙකුගේ මුහුණු ආවරණයක් පළඳින දහසය හැවිරිදි අරු වැනි දහසක් දෙනා සිය හැඟීම් ප්‍රකාශනයේ සහ අන්‍යෝන්‍ය බැඳීම් ගොඩනඟා ගැනීමේ මාධ්‍යයක් ලෙස මෙම සත්ත්ව අනන්‍යතාවය යොදාගනිති.
වෛද්‍ය විද්‍යාත්මකව මෙය මානසික රෝගයක් ලෙස වර්ගීකරණය කර නොමැති බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙයි. බුවනෝස් අයර්ස්හි මනෝවිද්‍යාඥ ඩෙබොරා පෙඩේස් සඳහන් කරන්නේ, මෙය යොවුන් වියේදී ඇතිවන සංකේතාත්මක අනන්‍යතා ගවේෂණයක් පමණක් බවත්, එය ගැටලුවක් වන්නේ තම සිරුරට හෝ සමාජයට හානියක් වන මට්ටමට වර්ධනය වුවහොත් පමණක් බවත්ය. කෙසේ වෙතත්, පශ්චාත්-වසංගත හුදෙකලාව, ඩිජිටල් යුගයේ පවතින දැඩි මානසික පීඩනය සහ සමාජයීය රැකවරණය නොමැතිකමෙන් මිදීම සඳහා යොවුන් පරපුර මෙලෙස මනඃකල්පිත ලෝකයන් වෙත යොමුවන බව සමාජ විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
එහෙත් මෙම තත්ත්වය සෑම විටම හානිකර නොවන සෙල්ලමක් පමණක්ම නොවේ. පසුගිය පෙබරවාරි මාසයේදී කෝර්ඩෝබා ප්‍රදේශයේදී වෘකයෙකු ලෙස හැසිරුණු තීරියන්වරයෙකු විසින් දහහතර හැවිරිදි දැරියක ලුහුබැඳ ගොස් ඇයගේ කකුලක් සපා කෑමේ සිදුවීමක් වාර්තා වීමත් සමඟ මෙම රැල්ල පිළිබඳව දැඩි සමාජ භීතිකාවක් මතු විය. පොලිස් පැමිණිලි දක්වා දුරදිග ගිය මෙම සිදුවීමත් සමඟම, තීරියන් සංස්කෘතිය යනු සමාජයේ මානසික විකෘතියක් සහ සංස්කෘතික පරිහානියක් බවට එරට දකුණාංශික මාධ්‍ය විසින් දැඩි විවේචන එල්ල කිරීම දැන් ආරම්භ කර ඇත.
අන්තර්ජාලයේ කෙටි වීඩියෝවකින් ආරම්භ වී අද වන විට සැබෑ ලෝකයේ උද්‍යාන ආක්‍රමණය කර ඇති මෙම වනගත මුහුණු ආවරණ පිටුපස සැඟවී ඇත්තේ, අතිශය සංකීර්ණ සමාජයක් තුළ තම සැබෑ අනන්‍යතාවය සොයා යන අතරමං වූ පරම්පරාවක නිහඬ විලාපයයි.



