a-mysterious-corpse-in-a-thicket-of-padukka-jungle

පාදුක්ක, මලගල ප්‍රදේශයේ කැලෑ රොදක් තුළ අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ දැඩි ලෙස නරක් වූ මළ සිරුරක් පසුගිය 03 වැනිදා දහවල් කාලයේදී සොයාගත් බව පාදුක්ක පොලිසිය ප්‍රකාශ කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 467 මලගල ග්‍රාම නිලධාරී වසමට අයත් අංක 171, මලගල, පාදුක්ක යන ලිපිනයේ පදිංචිව සිටි හැටඑක් හැවිරිදි රූපසිහගේ කිත්සිරි ගාමිණී නැමැති අයෙකි.

එක්දරු පියෙකු වන මොහුගේ බිරිඳ මීට වසර ගණනාවකට පෙර ඔහුගෙන් වෙන්ව ගොස් ඇති අතර, ඔහුගේ එකම පුත්‍රයා ද මේ වන විට විවාහ වී වෙනම ජීවත් වන බව වාර්තා වේ.




විවිධ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය මෙම පුද්ගලයා දෛනිකව කසිප්පු පානයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු නිරන්තරයෙන්ම නිවසින් බැහැරව කාලය ගත කරන අයෙකු වන බැවින් දින කිහිපයක් නිවසට නොපැමිණීම පිළිබඳව පවුලේ අය මුලදී කලබල වී නොමැත. ඔහු පිළිබඳව කොතැනකින් හෝ ආරංචියක් ලැබීම සාමාන්‍යයෙන් සිදුවුවද, මෙවර නිවසින් පිටවී දින පහක පමණ කාලයක් ගත වී තිබුණත් කිසිදු තොරතුරක් නොලැබුණු තැන ඔහු සිටින තැනක් පිළිබඳව දන්නේ නම් දැනුම් දෙන්නැයි නිවැසියන් විසින් අසල්වැසියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබී ඇත.

මෙම ඉල්ලීම පිළිබඳව දැනුවත්ව සිටි පවුලේ ඥාතිවරියක් රබර් කිරි කැපීමේ නිරත වීම සඳහා කැලෑවක් හරහා ගමන් කරමින් සිටියදී දැඩි දුර්ගන්ධයක් වහනය වන බවට නිරීක්ෂණය කර තිබේ. ඒ ඔස්සේ අවට සොයා බැලීමේදී වන ලැහැබ තුළ තිබී මෙම මළ සිරුර ඇයට හමුවී ඇති අතර, මියගිය පුද්ගලයා නිතරම අඳිනු ලබන කමිසය දැකීමෙන් ඒ අතුරුදන්ව සිටි කිත්සිරි ගාමිණී මහතා බවට ඇය විසින් හඳුනාගෙන ඇත. ඉන්පසුව ඇය වහාම මේ පිළිබඳව නිවැසියන්ට තොරතුරු ලබා දී ඇති අතර, පවුලේ ඥාතීන් එම ස්ථානයට පැමිණ සිරුර තම පියාගේ බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව පාදුක්ක පොලිසිය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

a-mysterious-corpse-in-a-thicket-of-padukka-jungle