බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 20ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වාහන විවිධ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා යොදාගෙන ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර, අදාළ වාහන එකලස් කිරීමේ නීතිවිරෝධී ක්‍රියාවලිය සඳහා ඇතැම් පොලිස් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ද සහාය හිමිව ඇති බවට කරුණු හෙළි වී ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත, ගම්පහ සහ ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ කොළඹ, කඩවත, මීගහවත්ත සහ මොනරාගල යන ප්‍රදේශවල සඟවා තිබූ මෙම එකලස් කළ වාහන තොගය සොයාගැනීමට විමර්ශකයින් සමත් වී ඇත.
පොලිස් භාරයට ගත් වාහන අතරට සුඛෝපභෝගී මෝටර් රථ 05ක්, ජීප් රථ 03ක්, වෑන් රථයක්, ලොරි රථයක් සහ යතුරුපැදි කිහිපයක් අයත් වේ. මෙම ජාවාරම්කරුවන් විසින් අදාළ වාහනවල චැසි අංක වෙනස් කර විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති අතර, පසුව එම වාහන විකුණූ පාර්ශ්වය විසින්ම නැවතත් සොරකම් කර වෙනත් පාර්ශ්වයන් වෙත විකිණීමේ සූක්ෂම ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස නීතිවිරෝධී ලෙස එකලස් කළ තවත් වාහන 40කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. එම සියලුම රථ වාහන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විටත් වැටලීම් සිදු කරමින් පවතියි. යම් පුද්ගලයෙකුගේ වාහනයක් සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම්, ඒ පිළිබඳව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ 0112947780 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම නීතිවිරෝධී වාහන භාවිතා කරමින් සිදු කර ඇති ඝාතන, කොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ පහරදීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය. දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනා අදාළ බල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

