දිගු ගුවන් ගමනකින් පසු දැනෙන දැඩි වෙහෙස නිවාලන්නට, යෝධ, ලොම් පිරුණු, හුරතල් බළලෙකු ගුවන් තොටුපළේදී ඔබව පිළිගත්තොත් එය කෙබඳු අත්දැකීමක් වේවිද?
හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (HKIA) පැමිණීමේ පර්යන්තයට මේ දිනවල ගොඩබසින ඕනෑම අයෙකුට දැකගත හැකි අපූරු දසුන එයයි. මෙවර පාස්කු උත්සවයට සමගාමීව "A Moment to Purr" (සුරතල් වීමට නිමේෂයක්) යන තේමාව යටතේ නිර්මාණය කර ඇති මෙම යෝධ අන්තර්ක්‍රියාකාරී බළල් අනුරුව මේ වන විටත් ලොව පුරා සමාජ මාධ්‍ය කැළඹූ මාතෘකාවක් බවට පත්ව තිබේ. අප්‍රේල් 3 වැනිදා සිට මැයි 2 වැනිදා දක්වා මහජනතාවට විවෘතව පවතින මෙය නැරඹීමට සහ ඡායාරූප ගැනීමට දහස් ගණන් මගීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද මේ වන විට ගුවන් තොටුපළ වෙත ඇදී එමින් සිටිති.
මීටර් අටක් දිග, මීටර් හතක් පළල සහ මීටර් 3.5ක් උසැති මෙම දැවැන්ත තැඹිලි පැහැති බළලා, සැබෑම බළලෙකු මෙන් වර්ණවත් වේදිකාවක් මත නිදා සිටින ඉරියව්වෙන් නිර්මාණය කර ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ මෙය හුදෙක් නිශ්චල අනුරුවක් පමණක් නොවීමයි. සැබෑ බළලෙකුගේ මෙන් කන්, අත් පා සහ වලිගය සෙලවෙන අතර, විටින් විට ඇසෙන මෘදු ගෙරවුම් හඬ සංචාරකයන්ට ගෙන දෙන්නේ සුවදායී මෙන්ම සජීවී හැඟීමකි. එක් සංචාරක කාන්තාවක් මාධ්‍ය වෙත පවසා තිබුණේ, පැය ගණනාවක ගුවන් ගමනකින් පසු තම දරුවන්ගේත් තමන්ගේත් සියලු වෙහෙස මේ අපූරු සුරතලා දුටු විගස නිවී ගිය බවයි.
ගුවන් තොටුපළේ පළමු වැනි පර්යන්තයේ ආගමන ශාලාවේ (Hall A) පිහිටුවා ඇති මෙම නිර්මාණය අසල ඇති ඩිජිටල් තිරයක් මඟින්, අතථ්‍යව මේ බළලාට කෑම කැවීමට සහ සුරතල් කිරීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වේ. ඊට ප්‍රතිචාර ලෙස බළලාගේ කන් සහ වලිගය සෙලවීම කාගේත් මුවගට සිනහවක් ගෙන එන්නකි. පාස්කු සති අන්තය ඉලක්ක කරගනිමින් අප්‍රේල් 5 සිට 8 දක්වා මෙහි පැමිණි අයට නොමිලේ ක්ෂණික ඡායාරූප මුද්‍රණය කරගැනීමේ පහසුකමද සලසා තිබුණි. ඊට අමතරව, ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ අප්‍රේල් මුල් සතියේදී සංගීත සහ නර්තන ප්‍රසංග රැසක්ද සංවිධානය කර තිබූ අතර, එය මගීන්ට අපූර්ව අත්දැකීමක් විය.
සාමාන්‍යයෙන් පාස්කු සමයේදී බටහිර රටවල මෙන්ම ආසියාවේද ප්‍රමුඛ සංකේතය වන්නේ 'පාස්කු හාවා' වුවද, මෙවර හොංකොං බලධාරීන් එම සම්ප්‍රදාය බිඳ දමමින් බළලුන් තෝරාගැනීම විශේෂත්වයකි. නගරය තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන 'බළල් ආර්ථිකය' ඉලක්ක කරගනිමින් සහ සතුන් යනු මිනිසුන් යා කරන විශ්වීය භාෂාවක් යන්න පදනම් කරගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. මෙය හුදෙක් ගුවන් තොටුපළට පමණක් සීමා වූවක්ද නොවේ. බටහිර කව්ලූන් කලාපයේ තණතිල්ලක දිගා වී සිටින යෝධ බළල් බැලූන, යාඕ මා ටෙයි හි පිහිටි බළල් බිතුසිතුවම් මෙන්ම මුයි වෝ හි ත්‍රිමාණ බළල් සිතුවම් හරහා මුළු හොංකොං නගරයම මේ වන විටත් බළලුන්ගේ ආධිපත්‍යයට නතු වී අවසන් ය.
ගුවන් ගමන් යනු බොහෝ විට කඩිමුඩිය සහ ආතතිය කැටි වූ ක්‍රියාවලියකි. එහෙත්, හොංකොං නගරයට පය තබන මොහොතේම නිදිගැට කඩමින් සුරතල් වන මේ දැවැන්ත බළලා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර සංචාරකයන්ගේ හදවත් දිනාගැනීමට සහ ඔවුන්ගේ වෙහෙස නිවාලීමට අවශ්‍ය වන්නේ ආදරය පිරුණු මෙවැනි කුඩා වෙනසක් පමණක් බවයි.



