ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන ජිනා රයින්හාර්ට් (Gina Rinehart) සහ ඇන්ජලා බෙනට් (Angela Bennett) අතර බටහිර ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ (Western Australian Supreme Court) මේ වන විට විභාග වෙමින් පවතින ඩොලර් බිලියන ගණනක පතල් කර්මාන්තයට අදාළ නීතිමය ගැටුම එහි අවසන් අදියරට පැමිණ තිබේ.
සුප්‍රසිද්ධ රූපවාහිනී කතාමාලාවක් වන "Succession" හි කතා වස්තුවට සමාන කරනු ලබන මෙම දැවැන්ත අර්බුදය, ජිනා රයින්හාර්ට්ගේ හැනකොක් ප්‍රොස්පෙක්ටිං (Hancock Prospecting - HPPL) සමාගම සහ ඇන්ජලා බෙනට් ප්‍රමුඛ රයිට් ප්‍රොස්පෙක්ටිං (Wright Prospecting - WPPL) සමාගම අතර පිල්බරා (Pilbara) කලාපයේ පිහිටි ලාභදායී හෝප් ඩවුන්ස් (Hope Downs) යකඩ නිධියේ හිමිකාරිත්වය සහ කර්තෘභාග (royalties) වෙනුවෙන් ඇතිවූවකි. 2026 අප්‍රේල් 12 වන දිනට ලැබෙන වාර්තා අනුව මෙම නඩුවේ තීන්දුව අප්‍රේල් 15 හෝ 16 යන දිනවලදී ලබා දීමට නියමිතව ඇති අතර, ඩොලර් බිලියන ගණනක හිඟ කර්තෘභාග, වත්කම් කොටස් සහ අනාගත ලාභයන් හිමිවිය යුත්තේ කාහටද යන්න මෙහිදී තීරණය වනු ඇත.මෙම නීතිමය සටනේ ප්‍රධාන පාර්ශ්වය වන ජිනා රයින්හාර්ට්, සුප්‍රසිද්ධ යකඩ නිධි ගවේෂකයෙකු වූ ලැන්ග් හැනකොක්ගේ (Lang Hancock) දියණිය වන අතර, ඇය 1992 වසරේදී පවුලේ ව්‍යාපාරයේ පාලනය භාර ගැනීමෙන් පසු එය ඕස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික පතල් සමාගම බවට පත් කළාය. 2025 වසරේ වාර්තා අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 38.11ක ශුද්ධ වත්කමක් හිමි ඇය එරට ධනවත්ම පුද්ගලයා වේ. අනෙක් පාර්ශ්වය නියෝජනය කරන 78 හැවිරිදි ඇන්ජලා බෙනට් යනු පීටර් රයිට්ගේ (Peter Wright) දියණිය වන අතර ඇය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 4.6කට අධික වත්කමක් හිමි එරට සිව්වන ධනවත්ම පුද්ගලයායි. ජිනා රයින්හාර්ට් මෙන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද, ඇය සිය ලේලියන් වන ලියෝනි බෝල්ඩොක් සහ ඇලෙක්සැන්ඩ්‍රා බර්ට් ද සමඟින් රයිට් පවුලේ උරුමයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව මෙම නීතිමය ක්‍රියාවලියට මුහුණ දෙමින් සිටියි.
මෙම දැවැන්ත ආරවුලේ මූලාරම්භය 1950 දශකයේ පිල්බරා යකඩ නිධි සොයාගැනීමේ යුගය දක්වා දිව යයි. පාසල් මිතුරන් මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන් ද වූ ලැන්ග් හැනකොක් සහ පීටර් රයිට්, යකඩ නිධි ගවේෂණය කිරීම සඳහා "හැන්රයිට්" (Hanwright) නමින් හවුල්කාරිත්වයක් ආරම්භ කළේ හුදෙක් වාචික එකඟතාවයක් මතයි. ජිනාගේ මවගේ නමින් නම් කරන ලද හෝප් ඩවුන්ස් නිධිය ද මෙම එකඟතාවය යටතේ ගවේෂණය කරන ලද්දකි. 1984 වසරේදී මොවුන් දෙදෙනා අතර වත්කම් බෙදාගැනීමේ ගිවිසුමක් ඇතිකරගත් අතර, 1987 දී පීටර් රයිට් ද, 1992 දී ලැන්ග් හැනකොක් ද මිය ගියේය. කෙසේ වෙතත්, වර්තමානයේ පැනනැගී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම 1984 ගිවිසුම අර්ථකථනය කිරීමේදී දෙපාර්ශ්වය අතර ඇතිවී තිබෙන පරස්පරතාවයන්ය. වසර 18කට වැඩි කාලයක් පුරා ඇදී යන, ලේඛන 7000කට වඩා ඉදිරිපත් වී ඇති මෙම නඩුවේදී, 1986 වසරේ ලියැවුණු ලිපියක් මගින් ජිනා රයින්හාර්ට් මෙම වගකීම් පිළිබඳව දැනුවත්ව සිටි බව රයිට් පවුලේ නීතීඥයින් විසින් පෙන්වා දී තිබේ.
රියෝ ටින්ටෝ (Rio Tinto) සමාගම සමග 50% බැගින් වූ හවුල්කාරිත්වයක් යටතේ හැනකොක් සමාගම විසින් පාලනය කරනු ලබන හෝප් ඩවුන්ස් යකඩ නිධිය, වසරකට යකඩ යපස් ටොන් මිලියන 50ක් පමණ නිෂ්පාදනය කරන ඕස්ට්‍රේලියාවේ විශාලතම පතල් මෙහෙයුමක් වේ. වර්තමානයේ මෙම මෙහෙයුම් හරහා හැනකොක් සමාගමට 2.5%ක කර්තෘභාගයක් හිමිවන අතර, රයිට් පවුල විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එයින් අඩක්, එනම් 1.25%ක ප්‍රතිශතයක් 2007 වසරේ සිට පසුගිය කාලය සඳහා ද අදාළ වන පරිදි තමන්ට ලබාදෙන ලෙසයි. මීට අමතරව හෝප් ඩවුන්ස් නිධියේ වත්කම්වලින් 25%ක හිමිකාරීත්වයක් ද ඔවුහු ඉල්ලා සිටිති. මේ අතර 1969 වසරේ ගිවිසුමක් පදනම් කරගනිමින් ඩීඑෆ්ඩී රෝඩ්ස් (DFD Rhodes) පවුල ද 1.25%ක කර්තෘභාගයක් ඉල්ලා අතිරේක හිමිකම් පෑමක් සිදුකර තිබීම මෙම නඩුව තවත් සංකීර්ණ කර ඇත.
මෙම සමාගම් අතර පවතින ගැටුමට සමගාමීව ජිනා රයින්හාර්ට්ගේ පවුල අභ්‍යන්තරයේ ද දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබේ. ජිනාගේ දරුවන් වන ජෝන් හැනකොක් සහ බියන්කා රයින්හාර්ට් පවසන්නේ, සිය සීයා විසින් 1992 වසරේදී පිහිටුවන ලද පවුලේ භාරයක් (family trust) හරහා හෝප් ඩවුන්ස් නිධියේ අදාළ 50%ක කොටසේ හිමිකම තමන්ට ලැබිය යුතු බවයි. සිය මව විසින් වංචනික ලෙස සහ අසත්‍ය පවසමින් එම උරුමය තමන්ට ලබාදීම ප්‍රමාද කරන බවට ඔවුහු චෝදනා කරති. තම දරුවන්ට ඕනෑවට වඩා දේවල් ලබා දුන් විට ඔවුන්ට රැකියාවක් කිරීමේ සතුට අහිමි වන බව ජිනා රයින්හාර්ට් විසින් මාධ්‍ය වෙත පවසා තිබූ අතර, තම දරුවන්ගේ මෙම චෝදනා සියල්ල ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ව්‍යාපාරික වාර්තාකරුවෙකු වන රොස් ග්‍රීන්වුඩ් ප්‍රකාශ කර ඇති පරිදි මෙය මුදල්, අහංකාරය, උරුමය සහ පාලනය පිළිබඳ දැවැන්ත සටනකි.
පර්ත් නුවර පිහිටි ඓතිහාසික බටහිර ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ විභාග වන මෙම නඩුවේ තීන්දුව හුදෙක් පවුල් දෙකකට පමණක් නොව සමස්ත කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. හෝප් ඩවුන්ස් පතල හරහා එම ප්‍රදේශයේ ආදිවාසීන් වන බන්ජිමා (Banyjima) ජනතාවට ඩොලර් මිලියන 300කට අධික කර්තෘභාගයක් වාර්ෂිකව හිමිවන අතර, නඩුවේ තීන්දුව බටහිර ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට සහ බදු ආදායම්වලට සෘජුවම බලපානු ඇත. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දිගුම සහ අධිකම පිරිවැයක් දැරූ සිවිල් නඩු වලින් එකක් ලෙස සැලකෙන මෙය, එරට පතල් කර්මාන්තයේ අනාගත හවුල්කාරිත්වයන් සහ භාරකාරත්ව නීති කෙරෙහි ද නව පූර්වාදර්ශයක් සපයනු නොඅනුමානය.



