a-clean-up-by-the-manager-and-employees-of-a-garment-shop-in-petaling-jaya

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවිසැලකින් රුපියල් ලක්ෂ හැට දෙකක් පමණ වටිනා මුදල් සහ ඇඳුම් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වෙළෙඳසැලේ කළමනාකරු ඇතුළු සේවකයින් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




වැල්ලවත්ත, රුද්‍රා මාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු විසින් පිටකොටුව පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. අදාළ පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර ඇත්තේ, පිටකොටුව හෙට්ටිවීදිය මුහුදු මාවතේ පිහිටි සිය ප්‍රදර්ශනාගාරයෙන් මෙම මස පළමුවැනිදාත් දොළොස්වැනිදාත් අතර කාලසීමාව තුළදී රුපියල් ලක්ෂ 32ක මුදලක් සහ විකිණීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු වන වෙළෙඳසැල් කළමනාකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 32ක මුදල මට්ටක්කුලිය ශාන්ත මරියා පාරේ පිහිටි ඔහුගේ නිවසේ සඟවා තිබියදී සොයාගැනීමට විමර්ශකයින් සමත් වී ඇත. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තිදෙනා එම වෙළෙඳසැලේම සේවය කරන වෙළෙඳ සහයකයින් වන අතර, ඔවුන් අවුරුදු 17ත් 42ත් අතර වයස්වල පසුවන නෝටන්බ්‍රිජ්, රාගල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.




මෙම මහා පරිමාණ සොරකම සඳහා එම ආයතනයේ තවත් සේවකයින් පිරිසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔවුන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර, පිටකොටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්.කේ. අලහකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.