27-may---02-june-is-national-vesak-week---official-vesak-festival-in-matara

එළඹෙන 2570 වන ශ්‍රී බුද්ධ වර්ෂය උදෙසා වන රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර මාතර දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, 2026 මැයි මස 27 වන දින සිට ජූනි මස 02 වන දා දක්වා කාලසීමාව ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි ප්‍රධාන සමාරම්භක උළෙල මැයි 27 වන දින මාතර, තිහගොඩ පිහිටි මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මීට සමගාමීව, දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද එදිනට විශේෂ පින්කම් සහ වෙසක් ආරම්භක වැඩසටහන් දියත් කරන ලෙසට රජය විසින් නිල වශයෙන් උපදෙස් ලබා දී තිබේ.




මෙම සතිය පුරාවටම ජනතාවගේ සමාජීය මෙන්ම අධ්‍යාත්මික ගුණවගාව ඉහළ නැංවීම අරමුණු කරගත් සුවිශේෂී දෛනික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඊට සමගාමීව මැයි 28 වන දින මුළුමනින්ම සෞඛ්‍ය සහ සමාජ සත්කාරක සේවා වෙනුවෙන් වෙන් කර ඇති අතර, එහිදී දිවයින පුරා නොමිලේ වෛද්‍ය හා අක්ෂි සායන පැවැත්වීම, ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කිරීම මෙන්ම අවයව දන්දීම සඳහා කැමැත්තක් දක්වන්නන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඉන් අනතුරුව මැයි 29 වන දින පාසල් සහ දහම් පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, තරුණ ප්‍රජාව සඳහා විශේෂ උපදේශන සැසි ද පැවැත්වීමට නියමිත අතර, රෝහල් සහ වැඩිහිටි නිවාස කේන්ද්‍ර කරගත් ශ්‍රමදාන ව්‍යාපාර ද එදිනට ක්‍රියාත්මක වේ.

වෙසක් පුර පසළොස්වක පෝය දිනය යෙදෙන මැයි 30 වන දා සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට පමණක් මුල්තැන දෙමින් සියලුම විහාරස්ථානවල සීල හා භාවනා වැඩසටහන් සංවිධානය කරන ලෙසට දැනුම් දී ඇති අතර, එදින කිසිදු ආකාරයක සැණකෙළි හෝ සංගීත සංදර්ශන පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බව ද අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ. මැයි 31 වන දින පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ පහසුකම් සංවර්ධනය කිරීම සහ ධාරිතා ගොඩනැංවීමේ පුහුණු වැඩසටහන් සඳහා වෙන් කර ඇත. ඉන් පසුව ජූනි 01 වන දින විහාරස්ථාන මූලික කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ ධර්ම සාකච්ඡා, දේශනා සහ භාවනා වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර, ජූනි 02 වන දින 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනට සමගාමීව පොදු ස්ථාන පවිත්‍ර කිරීම, රුක් රෝපණය කිරීම සහ ඔසු උයන් නිර්මාණය කිරීමේ ශ්‍රමදාන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.




මෙම ජාතික වෙසක් සතිය නිමිත්තෙන් දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ විහාරස්ථාන පරිශ්‍රයන්හි ප්‍රදර්ශනය කළ යුතු විශේෂ බැනරයක් සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය විසින් නිශ්චිත මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. ඒ අනුව, “අහිත්ථරෙථ කල්‍යාණෙ” හෙවත් 'පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු' යන තේමා පාඨය සහිතව අඩි 8×4 ප්‍රමාණයේ බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු අතර, එය අනිවාර්යයෙන්ම ලා කහ පැහැති පසුබිමක මෙරූන් පැහැති අකුරින් මුද්‍රණය කර තිබීම අත්‍යවශ්‍ය වේ.