පසුගිය සිකුරාදා මීර්පූර්හි ෂෙරේ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ දෙවන තරගයේදී ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව දැඩි කතාබහක් ඇති කළ දුවද්දී දැවීයාමක් සිදුවිය. එහිදී බංග්ලාදේශ නායක මෙහීදි හසන් මිරාස් ක්‍රියා කළ ආකාරයට වඩා තමා එම අවස්ථාවේ සිටියේ නම් ඊට වෙනස් ආකාරයකින් කටයුතු කරන බව පාකිස්තාන පිතිකරු සල්මාන් අලි ආඝා ප්‍රකාශ කර ඇත.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම පාකිස්තාන ඉනිමේ 39 වැනි ඕවරයේදී සිදුවූ අතර, මොහොමඩ් රිස්වාන් විසින් මෙහීදිගේ පන්දුවකට එල්ල කළ පහරක් යළි පන්දු යවන්නා දෙසටම ඇදී ගියේය. පන්දුව අනිත් අන්තයේ සිටි ආඝා දෙසට ගමන් කළ අතර, එය රැකගැනීමට පන්දු යවන්නා ඉදිරියට පැමිණීමේදී ක්‍රීඩකයින් දෙදෙනා එකිනෙකා හා ගැටීමකට ලක්විය. එම අවස්ථාවේදී තම සීමාවෙන් පිටත සිටි ආඝා මෙන්ම මෙහීදි ද පන්දුව අහුලා ගැනීමට උත්සාහ කළ අතර, පළමුව පන්දුව අතට ගත් මෙහීදි වහාම යටි අත් පහරකින් කඩුල්ල බිඳ දැමීමට සමත් විය.
මෙම දැවී යාම සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයින් කළ ඉල්ලීමත් සමඟ පිටියේ විනිසුරු තන්වීර් අහමඩ් විසින් එය තෙවන විනිසුරු වෙත යොමු කරන ලදී. ඒ අනුව තෙවන විනිසුරු කුමාර් ධර්මසේන විසින් කඩුල්ල බිඳ වැටෙන අවස්ථාවේදී ආඝා සීමාවෙන් පිටත සිටි බව තහවුරු කරමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස තීරණය කළේය.
ඒ වන විට පාකිස්තාන ඉනිම වෙනුවෙන් පන්දු 62කදී ලකුණු 64ක් ලබා සිටි ආඝාගේ දැවී යාමත් සමඟ ඔහු සහ රිස්වාන් අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ ලකුණු 109ක වටිනා සබඳතාවය නිමාවට පත්විය. ලකුණු 103ක ආරම්භක සබඳතාවයකින් පසු පාකිස්තානය ලකුණු 18ක් තුළ කඩුලු 3ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී මෙම සබඳතාවය ගොඩනැගී තිබිණි.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පාකිස්තානය ලකුණු 128කින් ජයග්‍රහණය කළ මෙම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආඝා පැවසුවේ, එය හුදෙක් තරගයේ උණුසුමත් සමඟ ක්ෂණිකව සිදුවූවක් බවයි. මෙහීදි ක්‍රීඩාවේ නීතිරීතිවලට අනුකූලව කටයුතු කර ඇති බව පිළිගන්නා නමුත්, නීතියට වඩා ක්‍රීඩාවේ ජීව ගුණය පෙරදැරිව කටයුතු කිරීම කෙරෙහි තමන් නිතරම විශ්වාසය තබන බවත්, තමා එම ස්ථානයේ සිටියේ නම් ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් මීට වඩා වෙනස් අයුරකින් තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තම පිතිකරු සීමාවෙන් ඉවත්ව සිටීම පිළිබඳව කරුණු පැහැදිලි කළ ආඝා ප්‍රකාශ කළේ, පන්දුව තම පාදයේ සහ පිටුපස වැදුණු බැවින් දැවීයාමක් සිදුවිය නොහැකි බව තමා සිතූ බවයි. තමා ලකුණක් ලබාගැනීමේ කිසිදු චේතනාවකින් පසු නොවූ බව අවධාරණය කළ ඔහු, තමා උත්සාහ කළේ පන්දුව යළිත් පන්දු යවන්නාට ලබාදීමට පමණක් වුවත් මෙහීදි වෙනත් අරමුණකින් ක්‍රියාත්මක වන්නට ඇති බව කියා සිටියේය.
පසුගිය විස්සයි-20 ලෝක කුසලානයේදී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවූ ආඝා වැඩිදුරටත් පවසා සිටියේ, තම කණ්ඩායම අතීතයේදී මෙවැනි ආකාරයේ දැවී යාම් සිදුකර නොමැති බවත්, අනාගතයේදීත් කිසිවිටෙකත් එවැනි දේකට යොමු නොවන බවත්ය.
දැවී යාමෙන් පසු තමා සහ මිරාස් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව පිළිබඳව විමසූ විට, එහිදී දෙපාර්ශවයෙන්ම සුහදශීලී වචන පිටනොවූ බව තමාට විශ්වාස වුවද හරියටම ප්‍රකාශ කළ දේවල් දැන් මතකයේ නොමැති බව ඔහු පැවසීය. නමුත් ඒ සියල්ල තරගයේ උණුසුම නිසා සිදුවූ දේවල් බව පෙන්වා දුන් ඔහු, තවමත් තමා මෙහීදි සමඟ මේ සම්බන්ධයෙන් කතා නොකළද ඉදිරියේදී කතා කරන බවත්, තමන් දෙදෙනා අතර කිසිදු අමනාපයක් නොමැති බවත් අවධාරණය කළේය.