
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 2026/2027 වර්ෂය සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය සහ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් නුගේගොඩ අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් ඊයේ (13) දින වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය. අද (14) දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම ලබන 27 වැනිදා දක්වා අත්හිටුවමින් මෙම නියෝගය ලබා දී ඇත.
මෙම වාරණ නියෝගය නිකුත් කරන ලද්දේ විධායක කමිටු සාමාජික අපේක්ෂකයෙකු වන මහගම්මුලගේ පුෂ්පකුමාර මහතා විසින් ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය. බාලදක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 10.00ට පැවැත්වීමට සැලසුම් කර තිබූ සභාපති, උපසභාපතිවරුන්, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු නිලධාරීන් තෝරාගන්නා මෙම විශේෂ මහා සභාව සඳහා සංවිධානයේ සාමාජිකයන්ගෙන් තෝරාගත් පිරිසකට පමණක් ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටී.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලසන්ත මනෝජ් නානායක්කාර, සභාපති රන්සිරි පෙරේරා, ලේකම් සුජීව ජයවර්ධන සහ විධායක කමිටු සභාපති තුෂාර සුමනසේකර යන මහත්වරුන් නම් කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය ශ්‍රී ලංකා බාලදක්ෂ සභා පනතේ විධිවිධාන සහ නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනි මෙන්ම නීතිවිරෝධී බවයි. පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සම්බන්ධ වන මෙවැනි ව්‍යාපාරයක ප්‍රධානීන් මෙලෙස කටයුතු කිරීම මගින් වැරදි පූර්වාදර්ශයක් සැපයෙන බවත්, ඒ හරහා සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටම දැඩි අපකීර්තියක් හා හානියක් සිදුවන බවත් නීතිඥවරු වැඩිදුරටත් අවධාරණය කළහ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ නිලවරණය පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගය නිකුත් කළ අතර, මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇත්නම් ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද පියවර ගත්තේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිලුකා පතිරගේ මහත්මියගේ උපදෙස් මත නීතිඥ අස්විද බෙනඩික් සහ නීතිඥ වන්දිම වීරක්කොඩි යන මහත්වරුන් පෙනී සිටියහ.