2021 ජූලි මාසයේදී හයිටි ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනය කළ තුවක්කුකරුවන් ස්පාඤ්ඤ භාෂාව කතා කළ බවත්, ඔහු බිම වැටී සිටියදී වෙඩි තබා ඝාතනය කළ බවත් මියාමි හි පැවති ෆෙඩරල් ජූරි සභාවක් හමුවේ පසුගිය බදාදා අනාවරණය විය.
සිය සැමියාගේ ඝාතනය සැලසුම් කිරීම සහ ඒ සඳහා කොලොම්බියානු කුලී ඝාතක කණ්ඩායමක් යොදවා ගැනීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ නඩු විභාගයේ දෙවන දිනය වූ එදින, ජනාධිපතිවරයාගේ වැන්දඹුව වන 51 හැවිරිදි මාර්ටින් මොයිස් මහත්මිය සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටියාය.
තුවක්කුකරුවන් ජනාධිපතිවරයාට අවසන් වෙඩි වරුසාව එල්ල කරන විටත් තමාට වෙඩි වැදී තුවාල සිදුවී තිබූ බවත්, කිසිවෙකු තමා බේරා ගැනීමට නොපැමිණෙන බව වටහා ගත් තමා දෑස් පියාගත් බවත් හයිටි ක්‍රියෝල් භාෂාවෙන් සාක්ෂි දෙමින් ඇය අධිකරණය හමුවේ පැවසුවාය.
වෙඩි ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ සිරුර වෙව්ලනු තමා දුටු බවත්, ඔහුගෙන් වේදනාත්මක ශබ්දයක් පිටවූ බවත් ඇය සඳහන් කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ජනාධිපතිවරයාට වෙඩි උණ්ඩ 12 ක් වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
එක් ඝාතකයෙකු තමාගේ කකුලෙන් අල්ලා හරවා විදුලි පන්දමක් මුහුණට එල්ල කර තමා ජීවතුන් අතර සිටී දැයි පරීක්ෂා කළ බව මාර්ටින් මහත්මිය විස්තර කළ අතර, වෙඩි වැදීම හේතුවෙන් ඇයගේ මුඛයෙන් ලේ ගලමින් තිබූ බැවින් ඇය මියගොස් ඇතැයි සිතූ ඝාතකයින් ඇයට තවදුරටත් වෙඩි තැබීමෙන් වැළකී සිට ඇත.
මෙම නඩු විභාගය මියාමි ප්‍රදේශයේ ආරක්ෂක ආයතනයක් වන 'කවුන්ටර් ටෙරරිස්ට් යුනිට් ෆෙඩරල් ඇකඩමි' (CTU) හි ක්‍රියාකාරකම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා ඝාතනය කර ඔහු වෙනුවට පත්වන පාලනයකින් ලාභදායී ආරක්ෂක කොන්ත්‍රාත්තු ලබා ගැනීම එම ආයතනයේ අරමුණ වී තිබූ බව පැමිණිල්ල පවසයි.
චූදිතයින් අතරට එම සමාගමේ සම අයිතිකරුවන් වන ඇන්ටෝනියෝ ඉන්ට්‍රියාගෝ, ආකැන්ජල් ප්‍රිටෙල් ඔර්ටිස්, ඔවුන්ගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු වන වෝල්ටර් වෙයින්ටෙමිලා සහ ආරක්ෂක නිලධාරියෙකු වන ජේම්ස් සොලේජස් ඇතුළත් වේ.
විත්තිකරුවන්ගේ නීතීඥයින් තර්ක කරන්නේ තම සේවාදායකයින් අහිංසක බවත්, ජනාධිපතිවරයා නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන බලයෙන් පහ කිරීම සඳහා ආරක්ෂාව සැපයීමට ඔවුන් මෙම කොලොම්බියානුවන් කුලියට ගෙන ඇති බවත්ය.
තුවක්කුකරුවන් ස්පාඤ්ඤ භාෂාව කතා කරමින් සිටි බවත්, ඔවුන්ගෙන් එක් අයෙකුට 'ලොක්කා' යන අරුත දෙන 'ජෙෆේ' (Jefe) යන අන්වර්ථ නාමයෙන් ද තවත් අයෙකුට 'පයිප්' (Pipe) ලෙස ද ආමන්ත්‍රණය කළ බවත් මාර්ටින් මහත්මිය ජූරි සභාවට පැවසුවාය.
පැමිණිල්ල විසින් 'පයිප්' යනු හිටපු කොලොම්බියානු විශේෂ බලකා නිලධාරියෙකු වන වික්ටර් පිනෙඩා ලෙස හඳුනාගෙන ඇත.
ඝාතකයින් ජනාධිපතිවරයාගේ භාණ්ඩ අවුස්සමින් යම් දෙයක් සොයමින් සිටි බවත්, ඔවුන් අපේක්ෂා කළ දේ හමුවන තුරු එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත් බවත් ඇය ප්‍රකාශ කළ අතර, නව අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා විසින් අත්සන් කර තිබූ බව කියන විධායක නියෝගයක් ඔවුන් එලෙස සොයන්නට ඇති බවට විත්තියේ නීතීඥයින් මතයක් පළ කර ඇත.
ඝාතනයෙන් පසු අත්අඩංගුවට ගත් එක් කොලොම්බියානු ජාතිකයෙකු සතුව තිබී සොයාගත් ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ඔරලෝසු දෙකක් මෙන්ම හිටපු ප්‍රථම කාන්තාවගේ මාලයක් ද ජූරි සභාවට සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරිණි.
බදාදා පැවති නඩු විභාගයේදී මාර්ටින් මහත්මිය තවදුරටත් විස්තර කළේ අලුයම 1 ට පමණ නිවසින් පිටත වෙඩි හුවමාරුවක් ආරම්භ වූ බවත් එය විනාඩි 45 ක් පමණ පැවති බවත්ය.
ජනාධිපතිවරයා සිය අවසන් මිනිත්තු කිහිපයේදී තම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ පොලිස් ප්‍රධානියාට දුරකථන ඇමතුම් ලබා දෙමින් හදිසි උපකාර ඉල්ලා සිටියද ඔවුන් පැමිණෙන විට ප්‍රමාද වී තිබුණි.
කුමන්ත්‍රණකරුවන් විසින් ඩොලර් 80,000 ක පමණ අල්ලස් ලබා දීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ 50 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක වළල්ල එදින ක්‍රියාත්මක වී නොමැති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇත.
විත්තියේ නීතීඥයින්ගේ හරස් ප්‍රශ්න ඇසීමේදී මාර්ටින් මහත්මිය බදාදා ලබා දුන් සාක්ෂිය සහ ඝාතනයෙන් දින කිහිපයකට පසු රෝහල් ගතව සිටියදී එෆ්.බී.අයි (F.B.I.) විමර්ශකයින්ට ලබා දුන් ප්‍රකාශය අතර පරස්පරතා ඉස්මතු කිරීමට උත්සාහ ගන්නා ලදී.
නිවසින් පිටත වෙඩි තැබීම විනාඩි හතරක් හෝ පහක් පැවති බවට ඇය මීට පෙර පවසා තිබුණද, අධිකරණයේදී එය විනාඩි 45ක් බව පැවසීම පිළිබඳව ප්‍රශ්න කළ විට, ශල්‍යකර්මයෙන් පසු තමා දැඩි වේදනාවකින් හා වේදනා නාශක ඖෂධ ලබා ගනිමින් සිටි බැවින් එලෙස ප්‍රකාශ කරන්නට ඇති බව ඇය පිළිතුරු දුන්නාය.
ඇඳක් යටට වී සැඟවී සිටියදී තම සැමියාගේ වේදනාත්මක මුහුණ තමා දුටු බවත්, ඝාතකයින් තමන් සොයන පුද්ගලයාගේ හැඩරුව විස්තර කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට වෙඩි තැබූ බවත් ඇය සිහිපත් කළාය.
දුරකථන වාර්තා වලට අනුව ඝාතනයෙන් මොහොතකට පසු ජනාධිපතිවරයාගේ මළ සිරුරේ ඡායාරූපයක් නිවසින් පිටත රැඳී සිටි කොලොම්බියානු කණ්ඩායමේ අයෙකුගේ දුරකථනයකට යවා ඇත.
වෙඩික්කරුවන් පිටව ගිය පසු තමා බිම දිගේ ඇදෙමින් තම සැමියා අසලට ගිය බවත්, ඒ වන විටත් ඔහුගේ එක් ඇසක් පිටතට පැමිණ තිබූ බව දැක තමා තවමත් ජීවතුන් අතර සිටින්නේ මන්දැයි දෙවියන්ගෙන් ඇසූ බවත් ඇය හඬමින් ප්‍රකාශ කළාය.