the-worker-died-after-getting-his-head-stuck-in-the-printer

පිළියන්දල, ගොරකපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මුද්‍රණාලයක සේවය කළ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු මුද්‍රණ යන්ත්‍රයකට හසුවී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පිළියන්දල පොලිසිය විසින් වාර්තා කරනු ලබයි. මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ඇත්තේ දෙනියාය, පල්ලේගම, නිස්සංක මාවතේ පදිංචිව සිටි මිලින්ද මධුසංක විජේසිංහ නැමැති විසිහත් හැවිරිදි විවාහක තරුණයෙකි.




පොලිස් විමර්ශනවලට අනුව අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය පුද්ගලයා තවත් සේවකයෙකු සමඟ අදාළ මුද්‍රණ යන්ත්‍රය ආශ්‍රිතව සිය දෛනික රාජකාරිවල නිරත වෙමින් සිට ඇත.

එහිදී යන්ත්‍රයේ හදිසියේ හටගත් යම් තාක්ෂණික දෝෂයක් පරීක්ෂා කර බැලීම සඳහා අනෙක් සේවකයා යන්ත්‍රය දෙසට හිස යොමු කර තිබේ. ඒ සමඟම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මියගිය තරුණයා ද යන්ත්‍රය තුළට හිස යොමු කරන ආකාරය මුද්‍රණාලයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ පැහැදිලිව සටහන්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.




එලෙස ඔහු යන්ත්‍රය දෙසට හිස යොමු කරනවාත් සමඟම කිසිවෙකුත් නොසිතූ අයුරින් අදාළ මුද්‍රණ යන්ත්‍රය එක්වරම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඇත. එහිදී යන්ත්‍රය තුළට හිස දමාගෙන සිටි තරුණයාගේ හිස එහි සිරවී ඇති අතර, අනතුරුව ඔහුව පසෙකට විසි වී ගොස් ඇති බව පරීක්ෂණ මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.