royal-colombo-student-falls-from-school-building-and-is-in-hospital

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු එම විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.




පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (11) උදෑසන 07.15 ට පමණය. ශාන්ත තෝමස් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර අද දින පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රිකට් මහා තරගයට සමගාමීව සංවිධානය කර තිබූ රථවාහන පෙළපාළියට එක්වීම සඳහා සෙසු සිසුන් පිටව ගොස් සිටීම හේතුවෙන් එම අවස්ථාව වන විට ඉහළ මාලයේ පිහිටි අදාළ පන්ති කාමරය වසා දමා තිබී ඇත.

වසා තිබූ පන්ති කාමරයට ජනේලයක් හරහා ඇතුළු වීමට අදාළ සිසුවා උත්සාහ කර තිබේ. සිය පාසල් බෑගය ද කරමත රඳවාගෙන මෙලෙස ගොඩනැගිල්ලට ඇතුළු වීමට යාමේදී එක්වරම පය ලිස්සා යාමෙන් ඔහු බිමට ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි. එසේම, ගොඩනැගිල්ලේ ඉහළ මහල අසල පිහිටි ගසක අත්තක් ද කැඩී ගොස් සිසුවා සමගම පහළට වැටී ඇති බව ද විමර්ශන වලදී තහවුරු වී තිබේ.




අනතුරින් දැඩි ලෙස තුවාල ලැබූ සිසුවා කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහු මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවන බව ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරුන් මෙන්ම තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. ඊට අමතරව, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද පාසල වෙත පැමිණ අදාළ ස්ථානය වැඩිදුර පරීක්ෂාවට ලක් කර ඇත.