while-searching-for-madushs-murder-a-root-emerges

2020 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.




මෙම ආන්දෝලනාත්මක ඝාතන සිද්ධිය 2020 වසරේ ඔක්තෝබර් මස 20 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේදී වාර්තා විය. මධුෂ් විසින් ලබාදුන් තොරතුරකට අනුව සඟවා තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ අරමුණින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව අදාළ ප්‍රදේශයට රැගෙන ගොස් සිටි අවස්ථාවේදී, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඔහුව ඝාතනය කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නඩුවේ විමර්ශන කටයුතු භාරදෙනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝගයක් මතය. ඝාතනයට ලක්වූ මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද පැමිණිල්ලක් සහ විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.




මෙම නව විමර්ශනයට සමගාමීව, සිද්ධිය වූ දින මධුෂ්ව මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගිය බව කියන පොලිස් කණ්ඩායමේ සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් නුදුරේදීම ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත. මීට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් පසුව, අදාළ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත්, සිදුවීමට අදාළව විවිධ මාධ්‍ය ආයතන සතුව පවතින වීඩියෝ දර්ශන විමර්ශන කටයුතු සඳහා ලබාගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කර තිබේ.

while-searching-for-madushs-murder-a-root-emerges