බදාදා උදෑසන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) ආසන්න ප්‍රදේශයට ඩ්‍රෝන යානා දෙකක් කඩාවැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඩුබායි බලධාරීන් විසින් තහවුරු කර තිබේ. මෙම අනතුර හේතුවෙන් ඝානා ජාතිකයින් දෙදෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයෙකු සුළු තුවාල ලබා ඇති අතර, එක් ඉන්දීය ජාතිකයෙකු මධ්‍යම ප්‍රමාණයේ තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් ගුවන්තොටුපළේ දෛනික ගුවන් ගමන් කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල වී නොමැති අතර ඒවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.කෙටි බාධා කිරීම් කිහිපයකින් අනතුරුව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ DWC හි මෙහෙයුම් කටයුතු මාර්තු 7 වන දා සිට අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කරන ලදී. දැනට පවතින තත්ත්වය මත ගුවන් ගමන් කාලසටහන් නිරන්තරයෙන් වෙනස් වීමට ලක්වන බැවින්, අදාළ ගුවන් සමාගම විසින් තම ගුවන් ගමන තහවුරු කර දැනුම් දෙන තුරු ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙස මගීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.
මීට පෙර, එනම් මාර්තු 1 වන දින ද ඩුබායි ගුවන්තොටුපළේ මගී පර්යන්තයකට සුළු හානි සිදුවූ සිදුවීමක් වාර්තා වූ නමුත් එය කඩිනමින් පාලනය කිරීමට හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමත් විය. අදාළ බලධාරීන්ගේ සහයෝගයෙන් තත්ත්වය පාලනය කළ එම අවස්ථාවේදී ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. කෙසේ වෙතත් පෙර සූදානම් කර තිබූ හදිසි ක්‍රියාකාරී සැලසුම් හේතුවෙන් ඒ වන විටත් බොහෝ පර්යන්තවලින් මගීන් ආරක්ෂිතව ඉවත් කර තිබීමෙන් විශාල අර්බුදයක් වළක්වා ගැනීමට බලධාරීන්ට හැකි විය.
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසරේදී සිය ඉතිහාසයේ කාර්යබහුලම වසර සනිටුහන් කරමින් මගීන් මිලියන 95.2කට සේවා සපයා ඇති අතර එය පෙර වසරට වඩා සියයට 3.1ක කැපී පෙනෙන වර්ධනයකි. මෙය ලොව ඕනෑම ගුවන්තොටුපළක් විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම වාර්ෂික ජාත්‍යන්තර මගී ගමනාගමනය ලෙස ද සැලකේ. එමෙන්ම, පසුගිය වසරේ දෙසැම්බර් මාසය එහි ඉතිහාසයේ කාර්යබහුලම මාසය බවට පත්වූයේ මගීන් මිලියන 8.7ක් පැමිණීමත් සමඟින් වන අතර, එය සියයට 6.1ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
වසරේ අවසන් කාර්තුව ද ගුවන්තොටුපළ ඉතිහාසයේ කාර්යබහුලම සිව්වන කාර්තුව බවට පත්වෙමින්, 2024 වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 5.9ක වර්ධනයක් සමඟින් මගීන් මිලියන 25.1කගේ පැමිණීමක් වාර්තා කර තිබේ. එම කාර්තුව තුළ මුළු ගුවන් ගමන් වාර සංඛ්‍යාව 118,000 ක් දක්වා සියයට 5 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව පසුගිය වසරේ සමස්ත ගුවන් ගමන් වාර සංඛ්‍යාව 454,800 ක් ලෙස සටහන් වී ඇත. එය පෙර වසරට සාපේක්ෂව සියයට 3.3ක වැඩිවීමකි.