westIndies-africans-who-played-t20-cricket-are-stuck-in-india-due-to-war

2026 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු මැදපෙරදිග යුද තත්වය නිසා ගුවන් ගමන් ප්‍රමාදවී ඉන්දියාවේ රැඳී සිටීමට සිදු වූ දකුණු අප්‍රිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් වල සාමාජිකයින් මේ වන විට සිය රටවල් බලා පිටත්ව යාමට සූදානම් වේ. ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් බදාදා රාත්‍රියේ සිට සිය ගමන් ආරම්භ කරන බවත්, ඉදිරි පැය 36 ඇතුළත ඔවුන් සියලු දෙනාම ඉන්දියාවෙන් පිටත්ව යනු ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.




මාර්තු 1 වැනිදා සිය අවසන් තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දින 9ක කාලයක් කොල්කටා නුවර රැඳී සිටීමට සිදුවිය. කණ්ඩායම් දෙකම රැගෙන යාම සඳහා ICC ය විසින් සංවිධානය කර තිබූ විශේෂ චාටර් ගුවන් යානය නිරන්තරයෙන් ප්‍රමාද වීම හේතුවෙන්, තවදුරටත් ඒ පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම අත්හැර දැමූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය (CWI), සාමාන්‍ය වාණිජ ගුවන් සේවා ඔස්සේ ක්‍රීඩකයින්ව ආපසු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. මේ වන විටත් කොදෙව් කණ්ඩායමේ සාමාජිකයින් නම දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඉතිරි 16 දෙනා ඉදිරි පැය 24 ඇතුළත ඉන්දියාවෙන් පිටත්ව යාමට නියමිත බව තහවුරු කර ඇත.

මෙලෙස ගුවන් ගමන් ප්‍රමාද වීම සහ ඒ පිළිබඳව නිසි දැනුවත් කිරීමක් නොමැති වීම ක්‍රීඩකයින්ගේ දැඩි කලකිරීමට හේතු විය. දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්, තමන්ට පෙර තරගාවලියෙන් ඉවත් වූ එංගලන්ත කණ්ඩායමට කඩිනමින් පිටත්ව යාමට අවස්ථාව ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් සමී, අකීල් හොසේන් සහ ෂිම්රන් හෙට්මියර් යන ක්‍රීඩකයින්ද තමන් මුහුණ දී ඇති මෙම අවිනිශ්චිත තත්ත්වය පිළිබඳව සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළ කර තිබුණි.




ක්‍රීඩකයින්ගේ මෙම විවේචන වලට ප්‍රතිචාර දක්වමින් ICC ය පැහැදිලි කළේ, එංගලන්ත කණ්ඩායමේ පිටත්ව යාම සහ මෙම කණ්ඩායම් දෙක මුහුණ දී ඇති තත්ත්වය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවාහන හා සැපයුම් තත්ත්වයන් මත පදනම් වූවක් බවත්ය. ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය, ගුවන් කලාප වසා දැමීම සහ මිසයිල අනතුරු ඇඟවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් වලට එල්ල වී ඇති බාධා මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දුන්නේය.

සිය පාලනයෙන් තොර මෙවැනි තත්ත්වයන් යටතේ වුවද, ක්‍රීඩකයින්ගේ, සහායක කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව තමන්ගේ ප්‍රමුඛතම වගකීම බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කරයි. මේ වන විටත් අදාළ බලධාරීන්, ගුවන් සමාගම් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව, ඉතා සංකීර්ණ තත්ත්වයක් යටතේ වුවද සියලුම දෙනාට ආරක්ෂිතව තම රටවල් කරා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.