an-attack-by-the-us-targeting-16-iranian-submarines-near-the-strait-of-hormuz-video

පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ 12 වැනි දිනය සනිටුහන් කරමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරානයට අයත් මුහුදු බෝම්බ අතුලන (mine-laying) නෞකා 16කට අමෙරිකානු හමුදා විසින් සාර්ථක ප්‍රහාරයක් එල්ල කර ඇත. අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව, ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී මෙම නෞකා බහුතරයක් නැංගුරම් ලා තිබූ අතර ඉන් යාත්‍රා 9කට ප්‍රහාර එල්ල වන අයුරු පැහැදිලිව දැකගත හැකිය.




යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය විසින් ගල්ෆ් මුහුදු කලාපයේ බෝම්බ අතුරා ඇතිද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. එහෙත්, ඉරානය එම මෙහෙයුම සඳහා සූදානම් වෙමින් පවතින බවට අමෙරිකාවට ලැබුණු තොරතුරු හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම ප්‍රහාරය දියත් කිරීමට හමුදාවට නියෝග කර තිබේ. පර්සියානු ගල්ෆ් කලාපය සහ උතුරු අරාබි මුහුද යා කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ බොරතෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන අතිශය උපායමාර්ගික වැදගත්කමකින් යුත් මුහුදු මාර්ගයකි. වත්මන් ආරක්ෂක තර්ජන හේතුවෙන් මෙම කලාපය හරහා සිදුවන තෙල් ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, මේ හේතුවෙන් ගෝලීය තෙල් මිල මෙන්ම අමෙරිකාවේ ඉන්ධන මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

1980 දශකයේදී ද ඉරානය විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ බෝම්බ අතුරා තිබූ අතර, 1988 අප්‍රේල් මාසයේදී ඉරාන මුහුදු බෝම්බයකින් අමෙරිකානු නෞකාවකට දැඩි හානි සිදුවීමෙන් පසු අමෙරිකාව ප්‍රතිප්‍රහාර එල්ල කළේය. වර්තමානයේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට නාවික හමුදා යුද නැව් යෙදවීමට තමා සලකා බලමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් විසින් වෙළඳ නෞකාවකට සාර්ථකව ආරක්ෂාව සැපයූ බවට සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් පසුව මකා දැමූ අතර, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් උපුටා දක්වමින් හමුදා නිලධාරියෙකු තහවුරු කළේ මේ වන විට පෙන්ටගනය විසින් වෙළඳ නෞකා සඳහා එලෙස ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම් ආරම්භ කර නොමැති බවයි.




වත්මන් තත්ත්වය යටතේ පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් භාරව කටයුතු කරන්නේ බහරේනයේ ස්ථානගත කර ඇති අමෙරිකානු නාවික හමුදාවේ 56 වැනි කාර්ය සාධක බලකායයි. ඔවුන් සතුව නවීන ස්වයංක්‍රීය දියයට යාත්‍රා සහ සෝනාර් තාක්ෂණය පවතින අතර, අඩි 300ක් පමණ ගැඹුරු මුහුදට කිමිදිය හැකි විශේෂ පුහුණුව ලත් නිලධාරීන් හරහා මුහුදු පත්ලේ ඇති සැක සහිත පුපුරණ ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ක්ෂණිකව නිෂ්ක්‍රීය කිරීමේ හෝ විනාශ කිරීමේ හැකියාව එම බලකාය සතුව පවතී.

gossiplanka image