the-cricket-series-between-sri-lanka-and-afghanistan-in-uae-is-postponed

ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මැදපෙරදිග කලාපයේ මේ වන විට මතුවී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට පියවර ගෙන තිබේ. මාර්තු 13 වැනිදා සිට 25 වැනිදා දක්වා එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.




ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් මහතා ක්‍රික්බස් (Cricbuzz) වෙබ් අඩවියට අඟහරුවාදා දින මේ බව නිල වශයෙන් තහවුරු කර සිටියේය. කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය මත ගුවන් ගමන් සහ අනෙකුත් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී මතුවූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් සුදු පන්දු තරගාවලිය මෙලෙස කල් දැමීමට සිදුවූ බව ඔහු එහිදී සඳහන් කළේය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව තුළ හෝ පැවැත්වීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් නිරන්තරයෙන් සාකච්ඡා සිදු කළ බව ප්‍රධාන විධායකවරයා ප්‍රකාශ කළේය. එහෙත් අදාළ කාල වකවානුව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව දක්වා පැමිණීමට ගුවන් ගමන් පහසුකම් නොමැති වීම ඊට ප්‍රධාන බාධාවක් විය.




ඊට අමතරව මෙතරම් කෙටි කාලයක් තුළ ක්‍රීඩාංගණ වෙන්කර ගැනීම්, හෝටල් පහසුකම් සපයා ගැනීම්, තරග විකාශන කටයුතු සහ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්පාදනය කිරීම දැඩි අභියෝගයක් වූ බැවින් තරගාවලිය සම්පූර්ණයෙන්ම කල් දැමීමට ඔවුන් අවසන් තීරණය ගෙන තිබේ.

ඒ අනුව කල් දැමුණු මෙම තරගාවලිය මෙම වසරේ (2026) අවසන් කාර්තුවේදී පැවැත්වීමට මේ වන විට අදහස් කර ඇත. රෂීඩ් ඛාන්ගෙන් හිස්වූ ඇෆ්ගනිස්තාන විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ඉබ්‍රාහිම් සද්‍රාන්ට හිමිවීමෙන් අනතුරුව, නව නායකයා යටතේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම මුහුණ දෙන පළමු විස්සයි20 තරගාවලිය ලෙස මෙය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.