those-who-rented-a-monkey-named-piumi-for-the-galle-new-years-princess-competition-were-arrested

ගාල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු කුමරිය තේරීමේ තරගයක් සඳහා 'පියුමි කරාබු දාගෙන නටන්න' යන නර්තන විශේෂාංගය ඉදිරිපත් කිරීමට 'පියුමි' නමින් හැඳින්වූ වඳුරෙකු කුලියට දුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගාල්ල වන සත්ත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සත්වයා රුපියල් 25,000ක මුදලකට අදාළ නර්තන ශිල්පිනිය වෙත කුලියට ලබා දී ඇති බව වනජීවී විමර්ශනවලදී අනාවරණය වී ඇත.




සැකකරු විසින් මෙම වඳුරා පුත්තලමේ සිට ගාල්ල දක්වා රැගෙන විත් ඇත්තේ සාමාන්‍ය මගී බස් රථයකිනි. ඒ සඳහා සත්වයා උරයක බහා කිසිවෙකුටත් සැක නොසිතෙන ලෙස ප්‍රවාහනය කර ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පරණ යකඩ එකතු කිරීමේ ව්‍යාපාරයක නිරත වන්නෙකු බව ද තොරතුරු හෙළි වී තිබේ.

අදාළ තරගයේ නර්තන අංගය අවසන් වීමෙන් පසු සැකකරු වඳුරා ද සමඟ ගින්තොට ප්‍රදේශයේ පිහිටි සිය මිතුරෙකුගේ නිවසක ලැගුම් ගෙන සිටියදී මෙලෙස නීතියේ රැහැනට කොටු වී ඇත. ඔවුන් පසුදින නැවත පුත්තලම බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.




ගාල්ල දකුණ වන සත්ත්ව අඩවි කාර්යාලයේ අඩවි නිලධාරී එම්. පී. සංජීව මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදු කර සැකකරු සහ සත්වයා සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.