tiger-woods-arrested-for-causing-an-accident-with-drugs

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන පනස් හැවිරිදි ටයිගර් වුඩ්ස් ඊයේ (27) පස්වරුවේ ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ජුපිටර් අයිලන්ඩ් හි පිහිටි ඔහුගේ නිවස ආසන්නයේදී රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ලබාගෙන රිය පැදවීම (DUI) සම්බන්ධයෙන් සැකපිට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර සවුත් බීච් පාරේදී පස්වරු 2.00 ට පමණ සිදුව ඇත.

කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති වුවද, දේපල හානි සිදුකරමින් රිය පැදවීම සහ නීත්‍යානුකූල පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සුළු වැරදි තුනක් යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබේ. මාටින් කවුන්ටි බන්ධනාගාරයේ රඳවා තැබුණු වුඩ්ස්, අනිවාර්ය රැඳවුම් කාලයෙන් පසුව එදින රාත්‍රියේ ඇප මත නිදහස් කර ඇත.




මාටින් කවුන්ටි ෂෙරිෆ් ජෝන් බුඩෙන්සික් මාධ්‍ය වෙත දැක්වූ අදහස් වලට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ වුඩ්ස් සිය කළු පැහැති රේන්ජ් රෝවර් රථය අධික වේගයෙන් පදවාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී ඉදිරියෙන් ධාවනය වූ පීඩන පිරිසිදු කිරීමේ උපකරණ සහිත ට්‍රේලරයක් ඇදගෙන ගිය සුදු පැහැති පිකප් රථයක් මාර්ගයෙන් ඉවතට හැරවීම සඳහා වේගය අඩාල කර ඇති අතර, වුඩ්ස් එම රථයට ඉස්සර කිරීමට උත්සාහ කර තිබේ. ගැටුම වළක්වා ගැනීමට වුඩ්ස් සිය රථය අනෙක් පසට කැපුවද, එහි පිටුපස ගැටී රේන්ජ් රෝවර් රථය රියදුරු අසුන පිහිටි පසට පෙරළී ගොස් ඇත. අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, වුඩ්ස් රථයේ මගී අසුන පැත්තේ දොරෙන් නිරුපද්‍රිතව පිටතට පැමිණ තිබේ.

අනතුර වූ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වුඩ්ස්ගේ හැසිරීම් වල අසාමාන්‍යතා නිරීක්ෂණය කර ඇති අතර, පසුව නිකුත් කළ ඡායාරූප වල ඔහුගේ ඇස් රතු වී ඇති බවද පැහැදිලිව දක්නට ලැබුණි. වුඩ්ස් මීට පෙර මුහුණ දී ඇති පාදයේ සහ කොන්දේ සැත්කම් පිළිබඳවද අවධානය යොමු කරමින් නිලධාරීන් විසින් ක්ෂේත්‍ර ශාරීරික පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇත. එහිදී සිදු කළ ශ්වසන පරීක්ෂණයේදී ඔහුගේ සිරුරේ මත්පැන් නොමැති බව තහවුරු වුවද, සැකකටයුතු අවස්ථාවකදී මත්පැන් භාවිතය තහවුරු නොවන විට සිදුකරන සම්මත ක්‍රියාපටිපාටියක් වන මුත්‍රා පරීක්ෂණයක් සඳහා ලබා දුන් නියෝගය ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට පත්විය. අනතුරුව සාමාන්‍ය නීති ක්‍රියාපටිපාටියට අනුව ඔහුව අවම වශයෙන් පැය අටක කාලයක් බන්ධනාගාරගත කර තැබීමට නිලධාරීන් පියවර ගෙන තිබුණි.




මෙය ටයිගර් වුඩ්ස් ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදී මෙලෙස අත්අඩංගුවට පත් වූ දෙවන අවස්ථාව වන අතර, ඔහුගේ ජීවිතයේ සිදුවූ සිව්වන ප්‍රධාන රිය අනතුරද වෙයි. මීට පෙර 2017 වසරේදී වේදනා නාශක ඖෂධ ලබාගෙන රිය පදවා නින්ද යාම හේතුවෙන් ඔහු වරදකරු වූ අතර, 2021 වසරේදීද කැලිෆෝනියාවේදී බරපතල රිය අනතුරකට මුහුණ දුන්නේය. 2025 වසරේ මාර්තු මාසයේදී පාදයේ අචිලස් කණ්ඩරාව ඉරී යාමෙන් සහ එම වසරේම ඔක්තෝබර් මාසයේදී කොන්දේ සැත්කමකට භාජනය වීමෙන් පසුව, ඔහු නැවතත් තරඟකාරී ගොල්ෆ් ක්‍රීඩාවට පිවිසියේ අනතුරට දින දෙකකට පෙර එනම් මාර්තු 25 වැනිදා පැවති TGL අවසන් මහා තරඟයේදීය. කෙසේ වෙතත්, මෙම නවතම සිදුවීම සම්බන්ධයෙන් වුඩ්ස් හෝ ඔහුගේ නියෝජිත මාර්ක් ස්ටේන්බර්ග් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

tiger-woods-arrested-for-causing-an-accident-with-drugs

tiger-woods-arrested-for-causing-an-accident-with-drugs