දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයන් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුව අභියාචනාධිකරණය විසින් බලරහිත කර තිබේ. ඒ අනුව අදාළ නඩුව යළිත් වරක් මුල සිට විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර ඇත.
නාවික හමුදා සාමාජිකයන් වන ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න සහ ප්‍රදීප් චමින්ද මෙන්ම සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් සහ ෆෙබියන් රොයිස්ටන් යන පස්දෙනාට එරෙහිව 2016 වර්ෂයේදී නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.මෙම විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් සිදු කළ ඉල්ලීමක් මත කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගය සිංහල භාෂාව කතා කරන ජූරි සභාවක් ඉදිරියේ ක්‍රියාත්මක විය. එහිදී මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස මේ වන විටත් අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි නැමැත්තා සිය සාක්ෂි ලබා දෙන ලදී. දීර්ඝ විභාගයකින් පසුව ජූරි සභාවේ ඒකමතික තීරණය මත කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ විත්තිකරුවන් සියලු දෙනාම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද අතර, එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය. නීතිපතිවරයා සිය අභියාචනය හරහා පෙන්වා දී තිබුණේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි පිළිබඳව මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරි සභාවට ප්‍රමාණවත් ලෙස කරුණු පැහැදිලි කර දී නොමැති බවයි.
මෙම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් මෙම නව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. විනිසුරු අමල් රණරාජා මහතාගේ එකඟත්වය සහිතව විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශ කළ එම තීන්දුවේ දැක්වෙන්නේ, මධ්‍යම රාත්‍රිය පසු වී පෙරවරු 12.50 ට පමණ කොළඹ මහාධිකරණය විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි.
ප්‍රධාන සාක්ෂිකරු වූ සම්පත් මනම්පේරිගේ සාක්ෂි මගින් විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත්, ඒ පිළිබඳව ජූරි සභාව ප්‍රමාණවත් ලෙස දැනුවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නොමැති බවට නීතිපතිවරයා ගෙන ආ තර්කය අභියාචනාධිකරණය විසින් පිළිගෙන ඇත. ඉදිරිපත් වූ සාක්ෂිවල නෛතික හා සාක්ෂිමය වටිනාකමක් තිබුණද ඒ සම්බන්ධයෙන් ජූරියට නිසි උපදෙස් දීමට මහාධිකරණය අපොහොසත් වී ඇති බව තීරණය කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මහාධිකරණයේ නිදොස් කිරීමේ තීන්දුව ඉවත දමමින් අදාළ චෝදනා සම්බන්ධයෙන් අලුතින් නඩු විභාගයක් ආරම්භ කරන ලෙසට කොළඹ මහාධිකරණයට නියෝග කළේය.

