they-tried-to-dig-up-the-place-where-the-coffin-was-buried-and-steal-the-gold

මියගොස් මිහිදන් කරන ලද කාන්තාවකගේ මෘත දේහයේ පළඳවා තිබූ ආභරණ සොරාගැනීමේ අරමුණින් ඇයගේ මිනී වළ හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව මූලස්ථාන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මොරටුව, ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.




අදාළ පැමිණිලිකාරිය සඳහන් කර ඇත්තේ සිය මවගේ අභාවයෙන් අනතුරුව දේහයට ව්‍යාජ (ඉමිටේෂන්) මාලයක්, කරාබු යුවළක් සහ වළලු කිහිපයක් පළඳවා භූමදාන කටයුතු සිදු කළ බවයි. මවගේ මරණයට දින හතක් සපිරීම නිමිත්තෙන් මිනී වළ අසල ඉටිපන්දම් දැල්වීම සඳහා ඇය සුසාන භූමියට ගිය අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ මිනී වළ හාරමින් සිටින ආකාරය දැක ඇති අතර, පැමිණිලිකාරිය දුටු වහාම එම සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගොස් ඇත.

මෙම කාන්තාවගේ මෘත දේහය තැන්පත් කර තිබී ඇත්තේ ඉතා මිල අධික මිනී පෙට්ටියක බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධියට අදාළව සුසාන භූමියේ රාජකාරි කළ ආරක්ෂක නිලධාරියා මේ වන විටත් පොලිස් භාරයට ගෙන ඇති අතර, පළා ගිය අනෙක් සැකකරුවන් දෙදෙනා මොරටුව මහ නගර සභාවේ සේවකයින් බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කරයි.




මෙලෙස අත්අඩංගුවට පත් වූ සුසාන භූමි ආරක්ෂක නිලධාරියා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ මූලිකත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.