the-russian-deputy-energy-minister-will-visit-the-island-tomorrow-26-to-sign-the-agreement-to-supply-fuel-to-sri-lanka

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රජයන් මට්ටමින් (Government to Government) ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹීම සඳහා මේ වන විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට සමගාමීව රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා හෙට (26) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.




විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ද මෙම රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය තහවුරු කර ඇති අතර, මාර්තු 26 වැනිදා දිවයිනට පැමිණෙන ඒ මහතා සමඟ අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක නිරත වීමට සැලසුම් කර ඇත.

කැබිනට් තීරණ දැනුම් දීමේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් වන ඉදිරි පියවරයන් සහ එකඟතාවන් මෙම නිල සංචාරය තුළදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට රජය අපේක්ෂා කරන බවයි.




මේ අතර, මෙරට වත්මන් ඉන්ධන සංචිත සහ ඉදිරි ඇණවුම් පිළිබඳව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු අනාවරණය කළේය. ඒ අනුව, මේ වන විටත් තහවුරු කරන ලද නැව්ගත කිරීම් සමඟ ඩීසල් ටොන් 134,000ක සංචිතයක් පවතින අතර, අප්‍රේල් මාසය සඳහා තවත් ඩීසල් ටොන් 124,000ක් ඇණවුම් කර තිබේ. මෙම තොග මැයි මාසයේ දෙවන සතිය දක්වා ප්‍රමාණවත් වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව, තහවුරු කරන ලද නැව්ගත කිරීම් සමඟ පෙට්‍රල් ටොන් 151,456ක සංචිතයක් මේ වන විට රට සතුව පවතින බවත්, අප්‍රේල් මාසයේ අවශ්‍යතාවය වෙනුවෙන් තවත් පෙට්‍රල් ටොන් 55,300ක් ඇණවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.