lightning-conductor-wires-worth-41-lakhs-belonging-to-the-central-bank-have-been-lifted

කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පිහිටි පැරණි ගොඩනැගිලි සංකීර්ණයට අයත් අකුණු සන්නායක පද්ධතියේ සවිකර තිබූ රුපියල් ලක්ෂ හතළිස් එකකට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි තොගයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බව කොළඹ කොටුව පොලිසිය පවසයි. මහල් දහසයකින් යුක්ත වූ එකිනෙකට සම්බන්ධ ගොඩනැගිලි තුනෙහිම ඉහළ ආවරණය වන පරිදි යොදා තිබූ මීටර් 288ක් පමණ දිගැති තඹ කම්බි මෙලෙස අතුරුදන් වී ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් 41,03,568ක් ලෙස ගණනය කර තිබේ.




මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ කළමනාකරණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගිය 27 වැනි දින කොටුව පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අදාළ පැමිණිල්ලට අනුව මෙම මහා පරිමාණ සොරකම 2026 වසරේ ජනවාරි මස 15 වැනිදාත්, 2026 පෙබරවාරි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ සිදුවන්නට ඇති බවට වැඩිදුරටත් සැකකෙරේ.

ලද පැමිණිල්ලට අනුව, කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් යුත් අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත. එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පැරණි ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර තීන්ත ආලේප කිරීමේ කටයුතු සඳහා පසුගිය 2025 වසරේ මාර්තු මාසයේදී බාහිර කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇති බවයි. අතුරුදන් වූ අකුණු සන්නායක කේබල් පද්ධතිය ද මෙම ගොඩනැගිලි තුනෙහිම ඉහළ කොටස ආවරණය වන පරිදි යොදා තිබූ එකක් බවට ද එහිදී තහවුරු වී තිබේ.




මේ දක්වා සිදු කර ඇති පොලිස් පරීක්ෂණවලට අනුව මෙම අපරාධය සඳහා මහ බැංකුවේ අභ්‍යන්තර සේවකයින්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම පිටස්තර පුද්ගලයින් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවටත් කරුණු පැහැදිලි වෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් ඉතා කඩිනමින් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවනු ඇති බවට ද එම නිලධාරියා වැඩිදුරටත් විශ්වාසය පළ කර සිටියේය.