නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා සජීවී විසිතුරු පැළ තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් ගමන් කරන "හරිත මාවත" ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී, පෙරේදා (27) අලුයම් කාලයේදී මෙම පුද්ගලයා රේගු දැලට කොටු වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටින 57 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ අලුයම 12.30 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබුණි. සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී, කඩදාසි කොළවලින් ඔතා ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන ආ මෙම විසිතුරු පැළ තොගය රේගුව විසින් සොයාගනු ලැබීය.
මෙම පැළ තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කරන වලංගු ආනයන බලපත්‍රයක් හෝ ශාක සෞඛ්‍ය ආරක්ෂණ බලපත්‍රයක් මොහු සතුව තිබී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව, අදාළ විසිතුරු පැළ තොගය රාජසන්තක කර ඇත. ඉන් පසුව, එම ශාක මෙරට පරිසරයට මුදාහැරීමෙන් සිදුවිය හැකි පාරිසරික හානිය අවම කිරීම සඳහා, පැළ තොගය විනාශ කර දැමීමට කටුනායක ශාක නිරෝධායන ආයතනය වෙත භාර දීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.

