කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවකදී විවිධ පුද්ගලයන්ට මුදල් බෙදා දුන් කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් රුපියල් පනස් දහසක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වැනිදා සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම්වලදී සැකකරුවන් අතර 16 හැවිරිදි බාලවයස්කරුවෙකු ද සිටින බව පොලිසිය තහවුරු කරයි.
තවද, මෙම පිරිස සතුව තිබී රුපියල් ලක්ෂයක පමණ මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40කට අධික ප්‍රමාණයක් මෙන්ම ඔවුන් ගමන් සඳහා යොදාගත් ත්‍රිරෝද රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත. පැහැරගැනීමේදී පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.මෙම සිදුවීම සම්බන්ධයෙන් කොටහේන, කේ.බී. ක්‍රිස්ටි පෙරේරා මාවතේ පදිංචිකරුවෙකු විසින් පසුගිය 25 වැනිදා කොටහේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පැමිණිලිකරු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක සාදයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ආපසු නිවෙස් බලා පැමිණෙමින් සිටියදී එක් මිතුරෙකු කොටහේන තැපැල් කාර්යාලය අසලින් බැසගොස් තිබේ. ඉන්පසුව පැමිණිලිකරු සහ අනෙක් මිතුරා ගමන් කරමින් සිටියදී කොළ සහ රතු පැහැති ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් ඔවුන් ලුහුබැඳ ඇත. තමන් "දෙමටගොඩ චමින්දගේ ගෝලයන්" බව පවසමින් ඔවුන් පැමිණිලිකරුගේ මිතුරාට තර්ජනය කර ඇත්තේ යම් ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසමිනි.
මෙහිදී බියට පත් වූ පැමිණිලිකරු සහ මිතුරා ත්‍රිරෝද රථයෙන් බැස තම නිවෙස් කරා යාමට උත්සාහ කර ඇත. පැමිණිලිකරු ශාන්ත අන්තෝනි මාවතේ පල්ලිය දෙසට ගමන් කරද්දී, ලුහුබැඳ ආ ත්‍රිරෝද රථ දෙක මග හරස් කර නතර කර තිබේ. ඉන් බැසගත් පුද්ගලයින් ව්‍යාපාරික මිතුරාට පහර දී ජංගම දුරකථනයක් ලබා දෙමින් "දෙමටගොඩ චමින්ද කතා කරන බව" පවසා ඇතත්, ඔහු එම පුද්ගලයා නොහඳුනන බව පවසමින් කතා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් අනතුරුව එම පිරිස විසින් මිතුරාව ත්‍රිරෝද රථයකට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති අතර, ඔහුව මුදා හැරීම සඳහා රුපියල් 50,000ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ කොටහේන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තනායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නිලධාරීන්, සූක්ෂම ලෙස සැකකරුවන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කප්පම් මුදල ලබා දෙන මුවාවෙන් ඔවුන්ව නිශ්චිත ස්ථානයකට ගෙන්වා ගෙන තිබේ. එහිදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයා රඳවාගෙන සිටි මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් වටලා ඔහු මුදා ගැනීමටත්, එහි සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් පොලිසිය සමත් විය. අවුරුදු 16ත් 30ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් අංගොඩ, මුල්ලේරියාව, දෙල්ගහවත්ත පාර, කැලණිමුල්ල සහ සැලළිහිණි මාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මිහිගොල්ල මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

