2022 වසරේ ක්‍රියාත්මක වූ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීමේදී මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට රුපියල් මිලියන 275ක මුදලක් රජයට වන්දි වශයෙන් ගෙවන ලෙස අද (27) නියෝග කළේය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් පාර්ශ්ව දෙකක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙම නඩුවට පදනම් වී ඇත්තේ රජයේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම බැහැර කරමින්, ලියාපදිංචි නොකළ සමාගමකින් අදාළ වෛද්‍ය සැපයුම් ලබා ගැනීමයි. එම අක්‍රමිකතාව හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති පුරවැසියන්ගේ මූලික අයිතීන් කඩ වී ඇති බව නිශ්චය කළ අධිකරණය, මෙම වන්දි මුදල අදාළ වගඋත්තරකරුවන් සිය පෞද්ගලික ධනයෙන් පියවිය යුතු බවට ද දැඩි ලෙස අවධාරණය කළේය.
අධිකරණ නියෝගයට අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රුපියල් මිලියන 75ක මුදලක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන යන මහත්වරුන් විසින් රුපියල් මිලියන 50 බැගින් ද වශයෙන් රජයට මෙම වන්දි මුදල් ගෙවිය යුතු වේ.
අදාළ කාලසීමාව තුළ වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනයේදී සිදු වූ පුළුල් අක්‍රමිකතා රැසක් මෙම නඩු විභාගයේදී මතු කර පෙන්වූ අතර, මීට අමතරව ප්‍රතිශක්තිකරණ ග්ලෝබියුලින් වංචාව ඇතුළු ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් ද මොවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ වෙනම අපරාධ නඩු කිහිපයක් දැනටමත් විභාග වෙමින් පවතී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන් විසින් 2025 වසරේදී ගොනු කරන ලද එම අධිචෝදනා මත පදනම් වූ නඩු විභාගයන්ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින මෙම ඓතිහාසික නියෝගය ලබා දී තිබේ.

