does-iran-really-have-the-nuclear-material-america-claims

ලෝකයට අනවශ්‍ය යුද්ධයක් නිර්මාණය කර තිබෙන ඇමරිකානු ජනපති ට්‍රම්ප් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් මේ වනවිට ලෝකය පුරා මතුව තිබේ. මෙම යුද්ධය අරමුණු කරගෙන ඇත්තේ ඉරානය න්‍යෂ්ටික බලවතෙකු ලෙස මතුවීම වැළැක්වීමට හෝ රහසිගතව න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සඟවා සිටින බවට තිබෙන සීඅයිඒ 'හිතළුවක්' මතවීම මෙම ‍විවේචනයන්ට ප්‍රධාන සාධකයක්ව පවතී.

මේ දක්වා ඉරානය කිසිම අවස්ථාවක න්‍යෂ්ඨික අත්හදාගැලීමක් කර නොමැති රටකි. ඇමරිකානු ජනපතිවරුන් කාලයක් තිසේසේ මෙම 'සාක්ෂි රහිත බොරුව' සමාජ ගත කර ඇති බව විවේචකයින්ගේ අදහසයි. පසුගිය දශක තුනක පමණ කාලය තුළ, විවිධ ඇමරිකානු පරිපාලනයන් පහක් යටතේ, ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි නිපදවීමේ අවසන් ඉලක්කය කරා ගමන් කරමින් සිටින බවට දේශපාලනික ආඛ්‍යානයක් ගොඩනඟා තිබුණි. මෙම අසත්‍ය මතය මඟින් ඉරාන ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රබන්ධයක් නිර්මාණය කළ අතර, ඉරානයට සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් සඳහා ඇති ස්වෛරී අයිතිය අත්හැරීමට බලකිරීමේදී ඇමරිකාව විසින් ඉටු කරන ලද ආක්‍රමණශීලී භූමිකාව සම්පූර්ණයෙන්ම වසන් කරන ලදී.




මෙම අසත්‍ය ආඛ්‍යානයේ වඩාත් තීරණාත්මක අංගය වූයේ 1980 ගණන්වල මැද භාගයේදී යුරේනියම් බලගැන්වීමේ තාක්ෂණය ජාත්‍යන්තර කළු කඩයෙන් ලබාගැනීමට ඉරානය ගත් තීරණය, න්‍යෂ්ටික අවි අත්පත් කරගැනීමේ අභිලාෂයක් ලෙස පෙන්වා දීමයි. සැබවින්ම ඉරානයට අවශ්‍ය වූයේ ෂා රජුගේ කාලයේ ආරම්භ කරන ලද න්‍යෂ්ටික වැඩසටහන යළි පණගැන්වීමට සහ ඔවුන්ගේ එකම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වන බුෂෙහ්ර් (Bushehr) වෙත ප්‍රංශ සමාගමක් හරහා ඉන්ධන සපයා ගැනීමටයි. එහෙත් 1984 දී රේගන් පරිපාලනය විසින් ඉරානය සමඟ පවත්වන සියලුම න්‍යෂ්ටික සහයෝගිතාවන් නතර කරන ලෙසට යුරෝපීය මිත්‍ර රටවලට බලපෑම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය තම ගිවිසුම් අවලංගු කළේය.

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) යටතේ සාමකාමී අරමුණු සඳහා තාක්ෂණය ලබාගැනීමට සෑම සාමාජික රටකටම ඇති අයිතිය උල්ලංඝනය කරමින් ඇමරිකාව ක්‍රියා කළේය. මෙම දැඩි බලපෑම් හමුවේ ජාතික අභිමානය පාවා නොදුන් ඉරානය කළු කඩය හරහා අදාළ තාක්ෂණය සෙවීමට තීරණය කළ අතර, එය ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින්ට පුදුමයට කරුණක් නොවිය යුතුව තිබුණි. කෙසේ වෙතත්, බටහිර ජනමාධ්‍ය විසින් ඉරානය වසර 18ක් තිස්සේ රහසිගතව යුරේනියම් බලගන්වමින් සිටි බවට සංවේදී පුවත් මවමින්, ඔවුන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට සැරසෙන බවට මහජනතාව තුළ දැඩි මතයක් තහවුරු කළේය. නමුත් යථාර්ථය නම්, 1999 වන තුරුම ඉරානය යුරේනියම් යොදාගනිමින් එකදු කේන්ද්‍රාපසාරී යන්ත්‍රයක් හෝ අත්හදා බලා නොතිබීමයි.




ඉරානය න්‍යෂ්ටික අවි කෙරෙහි දක්වන ප්‍රතිපත්තිය පිළිබඳ වැදගත්ම සාක්ෂිය වන්නේ, ඉරාන-ඉරාක යුද්ධයේදී ඔවුන් ඉරාකයට එරෙහිව රසායනික අවි භාවිතා නොකිරීමේ සැබෑ කතාවයි. ඉරාකය විසින් දරුණු ලෙස විෂ වායු ප්‍රහාර එල්ල කළද, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කුමේනි විසින් ඉස්ලාමීය නීතියට අනුව රසායනික හා සමූලඝාතන අවි නිෂ්පාදනය කිරීම සහ භාවිතා කිරීම මුළුමනින්ම තහනම් කරමින් ෆත්වා (fatwa) නියෝගයක් නිකුත් කර තිබුණි. එවකට හමුදා සැපයුම් අමාත්‍යවරයාව සිටි මොහ්සෙන් රෆිග්දූස්ට් විසින් න්‍යෂ්ටික හා රසායනික අවි නිපදවීම සඳහා අවසර ඉල්ලා සිටි අවස්ථාවලදී පවා, කුමේනි එය දැඩිව ප්‍රතික්ෂේප කරමින් ඒවා ඉස්ලාමයට පටහැනි (හරාම්) බව අවධාරණය කළේය.

කුමේනිගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ අයතුල්ලා අලි කමේනි ද 1990 ගණන්වල මැද භාගයේදී න්‍යෂ්ටික අවි සන්තකයේ තබාගැනීමට එරෙහිව තමන්ගේම ෆත්වා නියෝගයක් නිකුත් කළේය. ඇතැම් ඉරාන හමුදා නිලධාරීන් ජපානය මෙන් න්‍යෂ්ටික හැකියාව රඳවාගෙන සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට යෝජනා කළද, 2003 වසරේදී කමේනි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ තමන් පරමාණුක බෝම්බ සහ රසායනික අවි කෙරෙහි උනන්දුවක් නොදක්වන බවත්, ඒවා තම ප්‍රතිපත්තිවලට පටහැනි බවත්ය. ඒ සමඟම න්‍යෂ්ටික අවි පිළිබඳව පර්යේෂණ කරමින් සිටි සියලු දෙනාට එම කටයුතු ඉස්ලාමීය නීතිය යටතේ තහනම් බව පිළිගැනීමට ඔහු බල කළේය.



මෙම සැබෑ තත්ත්වය මෙසේ තිබියදීත්, ඇමරිකානු මධ්‍යම බුද්ධි කාර්යාංශය (CIA) ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව අඛණ්ඩව වැරදි තක්සේරු කිරීම් සිදු කළේය. 1991 දී CIA ආයතනය විසින් පිහිටුවන ලද නව මධ්‍යස්ථානයක සිටි තාක්ෂණික විශේෂඥයින්, ඉරානයේ දේශපාලන පසුබිම පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කළ අතර, ඉරානය විසින් ද්විත්ව භාවිත තාක්ෂණයන් මිලදී ගැනීම සඳහා යවන ලද ටෙලෙක්ස් පණිවිඩ න්‍යෂ්ටික අවි වැඩසටහනක සාක්ෂි ලෙස අර්ථකථනය කළහ. විශේෂයෙන්ම 2001 දී උප ජනාධිපති ඩික් චෙනීගේ දේශපාලන අවශ්‍යතා මත ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට සැරසෙන බවට නිගමනය කරන ලද බුද්ධි වාර්තාවක් සකස් කරන ලද අතර, ඉරානයට එසේ කිරීමේ අදහසක් නොමැති බවට තහවුරු කළ විශ්වාසදායක සාක්ෂි හිතාමතාම යටපත් කරන ලදී. පසුකාලීනව 2007 සහ 2008 වසරවලදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) කළ විමර්ශනවලින් ඔප්පු වූයේ, ඉරානය ලබාගත් එම තාක්ෂණික උපකරණ හුදෙක් ෂරීෆ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා පමණක් යොදාගෙන ඇති බවයි.