ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමෙන් පසු නව සමාගම් වෙත අනුයුක්ත කෙරුණු සේවකයින් විසින් දින දෙකක් පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. විදුලි වෘත්තීය සමිති 24ක එකමුතුවකින් පසුගිය 09 වැනිදා පස්වරු 3.00ට පමණ ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය අද (11) පස්වරුවේ මෙලෙස නතර කිරීමට පියවර ගෙන ඇත.
කම්කරු කොමසාරිස්වරයා, කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අලුතින් ස්ථාපිත කළ විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග අද පස්වරුවේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති මෙම තීරණයට එළඹ තිබේ. එම එකඟතාවන්ට අනුව හෙට (12) දිනයේදී වෘත්තීය සමිති නියෝජිතයින්ට ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අවස්ථාව හිමිවනු ඇති බව ද කම්කරු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය යටතේ සේවය කළ සමයේ තමන්ට හිමි වූ වරප්‍රසාද නව සමාගම් යටතේ ද ඒ ආකාරයෙන්ම සුරක්ෂිත විය යුතු බවටත්, සියයට 40ක වැටුප් වර්ධකයක් ලබා දිය යුතු බවටත් බලකරමින් සේවකයින් මෙම වර්ජනයට අවතීර්ණ වී තිබුණි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර, අත්‍යවශ්‍ය සේවා නඩත්තු කටයුතු සඳහා ද දැඩි බාධා එල්ල විය.
මේ අතර, විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක සේවයට වාර්තා නොකරන සේවකයින්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කේ.එස්.අයි. කුමාර සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සාලිය පණ්ඩිතරත්න යන මහත්වරුන් නිවේදන නිකුත් කරමින් අද දින දැනුම් දී තිබිණි.
එමෙන්ම, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ රාජකාරී පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ අපරාධමය නඩු පැවරිය හැකි බරපතළ වරදක් බවයි. එම ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන ලෙස ඔහු සේවකයින්ට දන්වා තිබුණි.
ඒ අනුව කිසිදු බාධාවකින් තොරව විදුලි සැපයුම පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සියලුම සේවකයින්ට මේ වනවිට දැනුම් දී ඇති අතර, ඉදිරියේදී සියලුම සේවකයින් සඳහා නව පත්වීම් ලිපි ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද නව සමාගම් විසින් නිවේදනය කර තිබේ.