unbeknownst-to-anyone-at-day-care-in-embilipitiya-little-eon-hid-in-a-pond

ඇඹිලිපිටිය තෝරකොළයාය මුලිඇඩියාවෙල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය ලබමින් සිටි අවුරුද්දයි මාස අටක් වයස දරුවකු එම පරිශ්‍රයේ පිහිටි පොකුණකට ඇදවැටීමෙන් ගිලී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් පෙරේදා (9) සවස වාර්තාවී තිබේ. දරුවාගේ මව ඇඟළුම් කම්හලක සේවය කරන අතර සවස 2 සිට රාත්‍රී 10 දක්වා සේවා මුරයට යාමට පෙර මව සිය සිඟිති දරුවා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දී යන බව වාර්තාවී තිබේ.

පොකුණට වැටී මියගිය දරුවාට අමතරව තවත් දරුවන් තිදෙනකු මෙම දිවා සුරැකුම් රැකවරණය ලබන මධ්‍යස්ථානයේ බව පොලිසිය කියයි. දරුවා රැක බලාගන්නා අයගේ නොසැලකිල්ල සිද්ධියෙන් පසු සීසීටීවී පරීක්සාවේදී පොලිසිය හඳුනාගත් අතර කිසිවෙකුගේ රැකවරණයක් නැතිව දරුවා මිදුලේ ඇවිදිමින් සිටියදී වතුර බෝතලයක් දැක එය අල්ලන නොදරුවා තමා අතින් එය විසිවී යන පොකුණ වෙත නිරායාසයෙන් ගමන් කර බෝතලය අහුලන්නට උත්සාහ කරන්නේ පොකුණට බසිමිනි. පොකුණේ ගිලෙන්නට යද්දී 'අම්මා අම්මා" යයි කියිමින් දරුවා කෑගසන නමුත් කිසිවෙකු දරුවා දෙස අවදානය යොමු කරන්නට එතැන නැති අතර සීසීටීවී පරීක්ෂාව අනුව එම අවස්ථාවේ දුරකථන ඇමතුමක් කාර්යාලයට ලැබී උස් හඩින් එයට පාලිකාව උත්තර දෙමින් සිටිනු හඳුනාගත හැකිය. දරුවා අතුරුදන්ව ඇති බව පාලිකාව දැනගන්‍නේ දරුවා ගිලී මිනිත්තු 20කින් පමණය. ඒ වනවිටත් ගිලී සිටින දරුවා රෝහල්ගත කරන්නට පාලිකාවගේ ත්‍රීරොද රථහිමි සැමියා කටයුතු කළත් දරුවා මියගොස් තිබේ.




සැකකාර කාන්තාව මෙම දරුවන් සිවු දෙනාගේම ඇඟපත පිරිසුදු කර දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කොරිඩෝවේ තබා ඒ අසලම පිහිටි නානකාමරයට ගොස් සුළු වේලාවකින් පැමිණ බලන විට එක් දරුවකු පෙනෙන්නට නොසිටි නිසා ඒ ගැන විපරම් කර බලා ඇති බව පවසා තිබේ. එම විපරම් කර බැලීමේදී පෙනෙන්නට නොසිටි දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල පිහිටි පරිශ්‍රයේ ඇති පොකුණේ වැටී සිටින අයුරු දැක වහා එයින් ගොඩ ගෙන පාසල් ගුරුවරයකු වූ සිය සැමියාට දැනුම් දී ඔවුනට අයත් ත්‍රිරෝද රථයෙන් රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා දරුවා මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය කීය.

මෙම දරුවා මියයාම සම්බන්ධයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල පවත්වාගෙන යන එහි පාලිකාව ලෙස කටයුතු කරන කාන්තාවක් පොලිසිය විසින් පෙරේදා (9) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. නොසැලිකිලිමත් ලෙස කටයුතු කර දරුවකු මරණයට පත් කිරීමට සැලැස්වීම යන චෝදනාව යටතේ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සහ පෙරපාසලේ හිමිකාරිය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.




දිවා සුරැකුම් මධ්‍යස්ථානවල පාලිකාවන්, පෙරපාසල් ගුරුවරියන් ඔවුන් යටතේ රැකවරණය ලබන දරුවන් කෙරෙහි නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව මෙම සිදුවීමෙන් ලැබෙන ආදර්ශයයි. රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත, ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව 37 හැවිරිදි වියේ පසු වන සිවු දරු මවකි.මෙම සැකකාර කාන්තාවගේ ගැහැනු දරුවන් තිදෙනෙක්ම නිවුන් දරුවෝ වෙති.මියගිය දරුවාගේ මව එම ප්‍රදේශයේම ඇගලුම් කම්හලක සේවය කරන අතර, පියා ගොවිතැන් කටයුතු සහ කුලී වැඩ කර ජීවිකාව ගෙන යන අතර, තවත් දරුවකු ද සිටියි.මෙසේ මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි ඒ.ජේ. එයෝන් හීසර නමැති දරුවෙකි.

gossiplanka image