අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකුව අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ මෙහෙයුමකදීය.
සිද්ධියට පසුබිම් වී ඇත්තේ පැමිණිලිකරු විසින් පදවන ලද යතුරුපැදියකින් ඔහුගේ මව ඇද වැටීමෙන් සිදුවූ අනතුරකි.
මේ සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ සැකකාර පොලිස් නිලධාරියා, අදාළ මවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නීතිමය පියවර නොගෙන සිටීමට සහ පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය ආපසු ලබා දීමට රුපියල් 5,000ක අල්ලසක් ඉල්ලා තිබේ.
අල්ලස් කොමිසම පවසන පරිදි, ඉන් රුපියල් දහසක මුදලක් පළමු අවස්ථාවේදීම ලබා ගෙන ඇති සැකකරු ඒ සමගම පැමිණිලිකරුගේ රියදුරු බලපත්‍රය ඔහු වෙත නැවත මුදා හැර ඇත.
අනතුරුව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමේ පොරොන්දුව මත ඉතිරි රුපියල් හාර දහසක මුදල අක්කරෙයිපත්තුව රෝහල් පරිශ්‍රය තුළදී ලබා ගැනීමට යාමේදී සැකකාර පොලිස් සැරයන්වරයා මෙලෙස නිලධාරීන්ගේ ග්‍රහණයට නතු වී තිබේ.

