11.15am
කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබේ.
10.30am
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (27) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පදනම් වී ඇත්තේ අමාත්‍යවරයා මීට පෙර රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ සමයේදී සිදුවූ බව කියන සිදුවීමකි.
ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලබන මාර්තු 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබුණි..
කුමාර ජයකොඩි මහතා ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ අවධියේ, එම සමාගම් පරිශ්‍රයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වූ පෞද්ගලික සමාගමකට අනිසි මූල්‍ය ලාභයක් ලබාදීම හරහා රජයට රුපියල් 8,800,000කට (මිලියන 8.8) අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම අධිචෝදනා ගොනු කර ඇත.
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන රෙගුලාසිවලට අනුව අදාළ පෞද්ගලික සමාගම විසින් බැංකු ඇපකරයක් ඉදිරිපත් කළ යුතු වුවද, එවැනි ඇපකරයකින් තොරව ව්‍යාපෘති වටිනාකමෙන් 20%ක මුදලක් (රුපියල් මිලියන 8.8කට අධික මුදලක්) අත්තිකාරම් ලෙස නිදහස් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ අතර, පසුගිය 17 වනදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීමක් කර තිබුණි. ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, අදාළ දූෂණ චෝදනාව කුමාර ජයකොඩි මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන වත්මන් කාලසීමාව තුළ සිදුවූවක් වූවා නම් නිසැක වශයෙන්ම ඔහුව එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

