හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පවරා ඇති අයථා මුදල් ඉපැයීම් පිළිබඳ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි ඔහුගේ සමීපතම ඥාති සොහොයුරෙකු රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ. හිටපු අමාත්‍යවරයා විසින් අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 748 ක මුදලක් විශුද්ධිකරණය කිරීමට ආධාර සහ අනුබල දුන් බවට එල්ල වූ චෝදනා මත මියගිය පුද්ගලයා මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුගිය පෙබරවාරි 03 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, ඔහුට ඇප නියම වූයේ පෙබරවාරි 10 වැනිදාය. එතැන් පටන් ඔහු දැඩි මානසික පීඩනයකින් සහ කලකිරීමකින් පසුවූ බවත්, නීතිගරුක දිවියක් ගතකළ තමන් දේශපාලන නඩු කටයුත්තකට සම්බන්ධ වීම පිළිබඳව දැඩි පශ්චාත්තාපයකින් සිටි බවත් ඔහුගේ සමීපතමයන් හෙළි කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඉකුත් 04 වැනිදා අලුයම ඔහු සිය නිවස පිටුපස පිහිටි වෙරළු ගසක එල්ලී දිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. අධිකරණ ක්‍රියාවලිය හමුවේ ඇති වූ අපකීර්තිය සහ මානසික පීඩාව දරාගත නොහැකිව ඔහු මෙම පියවර ගන්නට ඇති බවට සැක කෙරේ.