the-lawyer-who-bit-the-pages-of-the-case-file-is-completely-disqualified

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනුවක පිටු ඉරා දමා ඒවා සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නීතිඥවරියකගේ නීතිඥභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු කළේය. මීට අමතරව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇයට අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ මුදලක් ද නියම කරනු ලැබීය.




2023 වසරේ ජූලි මස 27 වන දින කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට අදාළ ලිපිගොනුවක පිටු දෙකක් ගලවා සපා කෑමෙන් විනාශ කිරීම හරහා ඇය නීතිඥ වෘත්තීය ආචාරධර්ම බරපතළ ලෙස කඩකර ඇති බවට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට චෝදනා ගොනු කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ අධිකරණය, අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් ඇයට නීතිඥ වෘත්තියේ නියැලීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය නොතකා හරිමින් වගඋත්තරකාරිය නැවතත් නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය විය. ඒ අනුව, අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ වෙනත් චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරන ලදී.




මෙම චෝදනා සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. එහෙත් පසුව ඇය සිය අදහස වෙනස් කරමින්, ඉදිරිපත් කර ඇති සියලුම චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකඟතාවය සහිතව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. වගඋත්තරකාරියගේ ක්‍රියාකලාපය තුළින් නීතිඥ ආචාරධර්ම පද්ධතිය දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බැවින්, ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කෙරුණු අතර, ඒ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසද දන්වා සිටියේය.



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ඇයට වසර පහකට අත්හිටවූ වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම කෙරුණි. අදාළ දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් තවත් මාස හයක සිරදඬුවමක් විඳීමට සිදුවන බවද නඩු තීන්දුවේ සඳහන් වේ. මීට අමතරව, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා පොලිස් අපරාධ හා ඇඟිලි සලකුණු කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ තැනැත්තියට වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.