boyfriend-who-entered-with-fake-campus-id-to-meet-engineering-faculty-girlfriend-caught

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන සිය පෙම්වතිය මුණගැසීමේ අරමුණින්, ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් එම විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු මොරටුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මොහු මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බව පවසමින් එහි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා පරීක්ෂා කර ඇත.

එම අවස්ථාවේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට ආරක්ෂක නිලධාරීන්ට පෙනී ගොස් තිබේ. ඒ අනුව, මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ විනය භාර ආචාර්යවරයාට දැනුම් දීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, අනතුරුව සිසුවා මොරටුව මූලස්ථාන පොලිසියට භාර දී ඇත.




පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අදාළ හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව තහවුරු වී තිබේ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සිසුවා පවසා ඇත්තේ, තමා පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බවත්, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිය පෙම්වතිය හමුවීම සඳහා මෙලෙස ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරගෙන පැමිණි බවත්ය.

වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම සහ අයුතු ලෙස ඇතුළු වීම යන චෝදනා යටතේ මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් භාවිතා කළ ව්‍යාජ හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.



බස්නාහිර දකුණු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ, ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත, මොරටුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.