ඝාතනයට ලක්වූ පාතාල නායක ගනේමුල්ල සංජීවගේ කල්ලියේ ප්‍රබලයෙකු මෙන්ම මේ වන විට විදේශ රටක සැඟවී සිටින මනෝජ් සුරංග හෙවත් 'බටුවත්තේ චාමර' නැමැත්තාට අයත් රුපියල් කෝටි හතරක් පමණ වටිනා තෙමහල් නිවසක් දින හතක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇත. ජා-ඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ඔහුගේ බිරිඳගේ නමට මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
මීට පෙර බටුවත්තේ චාමරගේ බිරිඳ විසින් පදිංචිය සඳහා භාවිතා කර ඇති මෙම නිවසට අවස්ථා තුනකදී වෙඩි ප්‍රහාරයන්ද එල්ල වී ඇත. කෙසේ වෙතත්, මීට මාස දෙකකට පමණ පෙර වෙනත් පුද්ගලයෙකු විසින් එය කුලියට ගෙන එම ගොඩනැගිල්ල තුළ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති බවද විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මේ අතර, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය සහ ගිනි අවි තොගයක් සමඟ ධීවර යාත්‍රා දෙකකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා සඳහා දින හතක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. ඊයේ (13) දින ඔවුන්ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී තිබේ. වයස අවුරුදු 22 ත් 49 ත් අතර පසුවන මෙම සැකකරුවන් ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය මෙන්ම ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ ප්‍රධාන බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී රුපියල් බිලියන දහයකට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මෙන්ම නවීන පන්නයේ ගිනි අවි එකොළහක් ද සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය. ඊට පිස්තෝල අටක්, ටී-56 ගිනි අවි දෙකක් සහ එම්-16 වර්ගයේ ගිනි අවියක් ඇතුළත් වේ. පොලීසිය සැකපළ කරන්නේ මෙම ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගය විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන පරවි සුදා සහ අංගොඩ ප්‍රියංකර යන අයගේ මෙහෙයවීම මත එවා ඇති බවයි.
මෙම ජාවාරමට අදාළ ප්‍රවාහන කටයුතු මෙහෙයවා ඇත්තේ අත්අඩංගුවට පත් වූ 'හංසන' නමැති බහුදින ධීවර යාත්‍රාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයෙකි. ඒ සඳහා විදේශගත ජාවාරම්කරුවන් විසින් ඔහුට මුදල් සපයා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. කිලෝග්‍රෑම් 654ක මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙම ධීවර යාත්‍රාව සැකකරුවන් පස්දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගනු ලැබුවේ පසුගිය 08 වැනිදා දිවයිනට දකුණු දෙසින් පිහිටි මුහුදු තීරයේදීය. ඉන් අනතුරුව එම යාත්‍රාවට සහාය දැක්වීමේ චෝදනාව යටතේ තවත් බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි පුද්ගලයින් පස්දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.