ඉරානය විසින් මෑතකදී එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම ඒවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට රජය නියෝග කර ඇත. සත්‍ය දර්ශනවලට අමතරව කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් නිර්මාණය කළ ව්‍යාජ පිපිරීම් සහ ප්‍රහාරක දර්ශන බෙදාහැරීම මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වන අතර, ඔවුන් කඩිනම් නඩු විභාගයක් සඳහා යොමු කර තිබේ.
මෙය ඉරානය, අමෙරිකාව, ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තොරතුරු පාලනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස සැලකේ.මේ අතර, ප්‍රහාර එල්ල වන අවස්ථාවන් වීඩියෝ ගත කිරීම සහ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම යන චෝදනා මත විවිධ ජාතිකයින් 45 දෙනෙකු අබුඩාබි පොලිසිය විසින් වෙනම අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි නගරයට ඉහළින් ගමන් ගත් ඉරාන මිසයිල වීඩියෝ ගත කිරීම හේතුවෙන් එරට සයිබර් අපරාධ නීතිය යටතේ පසුගිය සතියේදී ලන්ඩන් නුවරින් පැමිණි 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකුට ද චෝදනා එල්ල විය. පොලිස් නිලධාරීන්ගේ අවවාද කිරීම් මත ඔහු එම වීඩියෝව මකා දමා තිබුණද, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, මේ වන විට බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය ඔහුට අවශ්‍ය සහය ලබා දෙමින් සිටී.
'ඩිටේන්ඩ් ඉන් ඩුබායි' (Detained in Dubai) සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනී රාධා ස්ටර්ලින් ප්‍රකාශ කරන්නේ, මෑතකදී එල්ල වූ මිසයිල ප්‍රහාරවලට අදාළ වීඩියෝ සහ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධ නීති යටතේ මේ වන විටත් චෝදනා ගොනු කර ඇති බවයි. කෙසේ වෙතත්, උස් නේවාසික ගොඩනැගිල්ලකට, සුඛෝපභෝගී හෝටලයකට සහ ඩුබායි ගුවන්තොටුපළට මිසයිල සුන්බුන් කඩා වැටෙන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් අන්තර්ජාලය පුරා බහුලව සංසරණය වෙමින් පවතී.
මෙවැනි ක්‍රියාවන් හරහා මහජන ආරක්ෂාවට හා ජාතික ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල විය හැකි බවත්, කටකතා සහ භීතිය පැතිර යා හැකි බවත් පෙන්වා දෙන එක්සත් අරාබි එමීර් බලධාරීන්, ප්‍රහාරක ස්ථාන, හානිවීම් හෝ දුම් පිටවන ස්ථාන ඡායාරූපගත කිරීමෙන් හෝ වීඩියෝ කිරීමෙන් වළකින ලෙස ජනතාවට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම නීති උල්ලංඝනය කරමින් ප්‍රකෝපකාරී ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයින්ට වසර දෙකක් දක්වා වූ සිරදඬුවමක් සහ ඩිරාම් ලක්ෂ දෙකක (ඇමෙරිකානු ඩොලර් 54,000ක් පමණ) දඩයක් නියම විය හැකි අතර, තවත් අමතර චෝදනා ද එක් වීමේ අවදානමක් ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් වූවන් අතර සංචාරකයින්, විදේශිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිසුන් සහ නේවාසික නොවන පුද්ගලයින් (වියට්නාම ජාතික නාවිකයෙකු ද ඇතුළුව) වාර්තා වේ. ප්‍රහාරයන් වීඩියෝ ගත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පවා යොදවා තිබේ. 2026 පෙබරවාරි මස අගභාගයේදී ගල්ෆ් කලාපීය රටවලට ඉරානය විසින් එල්ල කරන ලද දහස් ගණනක් වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වීමත් සමඟ මෙම දැඩි නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. කඩා වැටෙන සුන්බුන්වලින් ජනතාවට විය හැකි හානි වළක්වා ගැනීමට මෙම නීති අත්‍යවශ්‍ය බව එක්සත් රාජධානියේ සිටින එක්සත් අරාබි එමීර් තානාපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් අවධාරණය කර ඇත.
ආරක්ෂිත ව්‍යාපාරික සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟා ඇති සිය ප්‍රතිරූපය පවත්වා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්තර්ජාල තොරතුරු සම්බන්ධයෙන් මෙලෙස දැඩි පාලනයක් ගෙන යයි. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ සත්‍ය තොරතුරු පමණක් ලබා ගැනීම සඳහා නිල මූලාශ්‍ර භාවිත කරන ලෙස රජය කෙටි පණිවිඩ සහ විද්‍යුත් තැපෑල හරහා ජනතාව දැනුවත් කරමින් සිටී. කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගෙන, එරට සංචාරය කරන හෝ වාසය කරන පුද්ගලයින්ට එවැනි සංවේදී මාධ්‍ය අන්තර්ජාලයේ බෙදාගැනීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍යය ඇතුළු විවිධ රටවල තානාපති කාර්යාල විසින් ද විශේෂ නිවේදන නිකුත් කර තිබේ.