හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට අයත් ප්‍රකට මාධ්‍ය ආයතනයක් මඟින් ප්‍රකාශයට පත්කරන 'මව්බිම' සහ එහි ඉංග්‍රීසි පුවත්පත වන 'සිලෝන් ටුඩේ' (Ceylon Today) හි දෛනික මුද්‍රිත කලාප හදිසියේම නතර කිරීමට පියවර ගෙන තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් අද (04) දිනයේ නිකුත් වූ අදාළ පුවත්පත්වල මුල් පිටුවල නිවේදනයක් පළ කරමින් කළමනාකාරීත්වය සඳහන් කර ඇත්තේ, මින් ඉදිරියට සිය ප්‍රවෘත්ති ආවරණ කටයුතු ඩිජිටල් අවකාශය හරහා පමණක් සිදුකරන බවයි. කෙසේ වෙතත්, දෛනික පුවත්පත් මුද්‍රණය නතර කළද, සතිඅන්තයේ නිකුත් වන 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' කලාපයන් තවදුරටත් මුද්‍රිත මාධ්‍යයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
ආයතනික කළමනාකාරීත්වයේ මෙම හදිසි තීරණය හේතුවෙන් එහි සේවකයෝ දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති. වාර්තා වන ආකාරයට, දෛනික මුද්‍රණය අත්හිටුවීම සම්බන්ධයෙන් ආයතනය විසින් සේවකයින්ට කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු කර නොමැති අතර, බහුතරයක් මාධ්‍යවේදීන් සහ සේවකයින් ඒ පිළිබඳව දැනුවත් වී ඇත්තේ ද අද දින පුවත්පතේ පළ වූ නිවේදනය දැකීමෙනි.
මේ අතර, ආයතනයේ සේවකයින් විසින් කළමනාකාරීත්වයට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් ද එල්ල කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන්ට හිමිවිය යුතු වැටුප් හිඟ මුදල් මෙතෙක් ගෙවා නිම කර නොමැති බවත්, වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) නිසි පරිදි ගිණුම්ගත කර නොමැති බවත්ය.