ජාතික ජන බලවේගය (NPP) සිය ප්‍රචාරණ කටයුතු සඳහා 'ගැහැනු අපි' තේමාව තවදුරටත් යොදාගැනීමට එරෙහිව සිය බලවත් විරෝධය පළ කරන බව ශ්‍යාමා බස්නායක මහත්මිය ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වන දින පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් නිකුත් කරන ලද ෆේස්බුක් පෝස්ටරයක් උපුටා දක්වමින් ඇය මේ අදහස් පළ කර ඇත.
මේ වන විට ජාතික ජන බලවේගය 'ගැහැනු අපි' යන යෙදුම යොදාගන්නේ කාන්තාවන් සිය ප්‍රචාරණ ව්‍යාපාර සඳහා යොදාගැනීමේ එකම අරමුණින් බවට ඇය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ඇය අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය හමුවේ තමා විරෝධය පළ කරන බවයි.
'ගැහැනු අපි' යන දෙවදන තේමාවක් ලෙස තමා විසින් මුලින්ම යෝජනා කළ බව ශ්‍යාමා බස්නායක මහත්මිය සිහිපත් කරයි. ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා විසින් ඊට 'එක වෙලෙකට' යන වචන එකතු කළ බවත්, ආරම්භයේදී හාරිනි අමරසූරිය පාර්ශ්වයේ අයෙකු එය ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කළ බවත් ඇය පෙන්වා දෙයි. මේ හේතුවෙන් තමා හාරිනි අමරසූරියගේ කණ්ඩායමෙන් සහ කාන්තා කමිටුවෙන් ඉවත් වූ බව පවසන ඇය, තමාගේ තීරණයෙන් පසුවයි 'ගැහැනු අපි' යන යෙදුම නැවත භාවිත කිරීමට තීරණය කළේ යැයිද එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
'ගැහැනු අපි' යන යෙදුම හුදෙක් වචන දෙකක් පමණක් නොව, කාන්තාවන්ගේ සාමූහිකත්ව හැඟීම, පොදු අත්දැකීම් සහ සමාජ, ආර්ථික යථාර්ථයන් හඳුනාගනිමින් යෝජනා කරන ලද ගැඹුරු දේශපාලනික අදහසක් බව ශ්‍යාමා මහත්මියගේ මතයයි. එහෙත් ජාතික ජන බලවේගය වර්තමානය වන විට එම තේමාව හුදු ප්‍රචාරණ කටයුතුවලට පමණක් සීමා කර ඇති බැවින්, සිය විරෝධය දේශපාලනික වශයෙන් සලකුණු කරන බව ඇය අවධාරණය කරයි.
මේ අතර, ජාත්‍යන්තර කාන්තා දින සැමරීම නිමිත්තෙන් වන රාජ්‍ය උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැතිනි හාරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් ලබන මාර්තු 08 වන දින කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.