1897 වසරේදී බ්‍රිතාන්‍ය හමුදා විසින් බෙනින් නගරය (වර්තමාන නයිජීරියාව) ආක්‍රමණය කර කොල්ලකන ලද ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ තුනක් නිල වශයෙන් නයිජීරියාවට ආපසු ලබා දීමට ස්විට්සර්ලන්තය මාර්තු 20 වන සිකුරාදා කටයුතු කළේය. ජිනීවා ජනවාර්ගික කෞතුකාගාරයේ (MEG) දශක ගණනාවක් පුරා ප්‍රදර්ශනය කර තිබූ මෙම කෞතුක වස්තූන් නැවත සිය මව් රටට ලබා දීම, අතීත යටත්විජිත වැරදි නිවැරදි කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.
මෙලෙස ආපසු ලබා දුන් කෞතුක භාණ්ඩ අතරට අලංකාර ලෙස කැටයම් කරන ලද විශාල ඇත්දළක් (Aken’ni Elao), රාජකීයයන් විසින් පැළඳි ලෝකඩ පටි මුහුණු ආවරණයක් (Uhunmwu-Ẹkuẹ) සහ පූජාසන සීනුවක් (Eroro) ඇතුළත් වේ. ජිනීවා නගරයේ සංස්කෘතික කටයුතු භාර Joëlle Bertossa, MEG කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා Carine Ayélé Durand සහ නයිජීරියානු ජාතික කෞතුකාගාර හා ස්මාරක කොමිසමේ (NCMM) අධ්‍යක්ෂ Olugbile Holloway යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව සූරිච් නුවර රීට්බර්ග් (Rietberg) කෞතුකාගාරයේදී මෙම භාරදීමේ නිල උත්සවය පැවැත්විණි. මෙය හුදෙක් භාණ්ඩ ආපසු ලබා දීමක් පමණක් නොව, නයිජීරියානු ජනතාවගේ ගෞරවය නැවත ලබා දීමක් බව Holloway මහතා එහිදී අවධාරණය කළ අතර, විදෙස්ගත නයිජීරියානුවන්ට ද තම උරුමය දැකබලා ගැනීම සඳහා ඉන් එක් ලෝකඩ නිර්මාණයක් දීර්ඝකාලීන ණය පදනමක් යටතේ ජිනීවාහිම තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.
මෙම ඓතිහාසික භාරදීම 2021 වසරේදී ස්විට්සර්ලන්ත කෞතුකාගාර අටක් සහ නයිජීරියානු බලධාරීන්ගේ එකමුතුවෙන් ආරම්භ කරන ලද "Bénin Suisse" වැඩසටහනේ සාර්ථක ප්‍රතිඵලයකි. පර්යේෂකයන් විසින් ස්විට්සර්ලන්තය පුරා ඇති කෞතුකාගාරවලින් භාණ්ඩ 96ක මූලාරම්භය දැඩි පරිශ්‍රමයකින් යුතුව සොයා බැලූ අතර, MEG කෞතුකාගාරයේ තිබූ මෙම භාණ්ඩ තුන 1897 බ්‍රිතාන්‍ය ආක්‍රමණයේදී කොල්ලකන ලද ඒවා බවට නිසැකවම තහවුරු කර ගන්නා ලදී. එකල ජේම්ස් රොබට් ෆිලිප්ස්ගේ මූලිකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය නියෝජිතයන් පිරිසක් ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස බ්‍රිතාන්‍ය හමුදා විසින් බෙනින් රාජධානිය විනාශ කර, යුද ව්‍යාපාරයේ වියදම් පියවා ගැනීම සඳහා රාජකීය මාලිගාවේ තිබූ මෙම වටිනා වස්තූන් කොල්ලකා යුරෝපය පුරා විකුණා දමන ලදී.
මෙම කෞතුක භාණ්ඩ තුන ස්විට්සර්ලන්තයට පැමිණි ගමන් මඟ පිරික්සීමේදී, 20 වැනි සියවසේ යුරෝපය තුළ බෙනින් ලෝකඩ නිර්මාණ සඳහා වූ ඉහළ ඉල්ලුම මනාව පැහැදිලි වේ. ලෝකඩ පටි මුහුණු ආවරණය බ්‍රිතාන්‍ය වෙන්දේසි හරහා කලා වෙළෙඳුන් අතට පත්වී අවසානයේ 1932 දී MEG කෞතුකාගාරයේ නිර්මාතෘ Eugène Pittard විසින් Hans Himmelheber ගෙන් මිලදී ගෙන ඇත. 1897 බෙනින් නගරය ගිනි තැබීමේදී ඇති වූ පිළිස්සුම් ලප තවමත් දැකගත හැකි 18 වැනි සියවසට අයත් ඇත්දළය, 1948 දී ලන්ඩන් කලාගාරයකින් ස්විස් ෆ්‍රෑන්ක් 2571.30 ක විශාල මුදලකට මිලදී ගෙන තිබේ. වඩාත් පුදුමයට කරුණ නම්, මෙම පූජාසන සීනුව 1958 වසරේදී ජිනීවා නුවර පැවති බැරන් මොරිස් ද රොත්ස්චයිල්ඩ් (Baron Maurice de Rothschild) ගේ වතු වෙන්දේසියකින් මිලදී ගෙන තිබීමයි. මෙවැනි කොල්ලකන ලද වටිනා කෞතුක වස්තූන් යුරෝපයේ ප්‍රභූ පවුල්වල පෞද්ගලික එකතු කිරීම් දක්වා කෙතරම් දුරට විහිදී ගොස් තිබුණේද යන්න මෙයින් මනාව පිළිබිඹු වේ.

