මගීන්ගේ ඉහළ යන ඉල්ලුම සහ වර්තමාන වෙළෙඳපොළ ප්‍රවණතාවන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් කොළඹ සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට දහයක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත. 2026 අගෝස්තු මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අලුතින් එක් කෙරෙන මෙම සතිපතා අතිරේක ගුවන් ගමන් වාර තුන සඳහා, ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ මෙන්ම සිය මව්බිමේ වෙසෙන ඥාතීන් හමුවීමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ සීඝ්‍ර වර්ධනය සෘජුවම බලපා තිබේ.
වර්තමානය වන විට ඔස්ට්‍රේලියාව යනු ශ්‍රීලංකන් ගුවන් සේවය සතු අතිශය වැදගත් ප්‍රමුඛතම වෙළෙඳපොළක් බවට පත්වීම මෙම ව්‍යාප්තිය සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත.නව ගුවන් ගමන් කාලසටහනට අනුව, අලුතින් එක් කළ ගුවන් ගමන් සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී කොළඹින් පිටත් වීමට නියමිතය. UL608 දරන එම ගුවන් යානය පස්වරු 14:10 ට කොළඹින් ගමන් අරඹා පසුදින අලුයම 04:30 ට මෙල්බන් නුවරට ළඟා වනු ඇත. ඊට සමගාමීව මෙල්බන් නුවර සිට ආපසු පැමිණෙන UL609 ගුවන් යානය බදාදා, සිකුරාදා සහ සඳුදා යන දිනවලදී උදෑසන 06:00 ට පිටත් වී එදිනම දහවල් 12:15 ට කොළඹට සේන්දු වේ. ඉන්දියාව වැනි වෙනත් ගමනාන්ත වෙත කොළඹ හරහා ගමන් ගන්නා මගීන්ට මෙන්ම, ශ්‍රී ලංකාව තුළ සිය නිවාඩුව ගත කරන සංචාරකයන්ට උපරිම කාලයක් මෙරට තුළ රැඳී සිටීමට පහසු වන අයුරින් මෙම නව ගුවන් ගමන් වේලාවන් වඩාත් ප්‍රායෝගිකව සැලසුම් කර තිබේ.
මෙලෙස අලුතින් හඳුන්වා දුන් අමතර ගුවන් ගමන්වලට අමතරව, කොළඹ සහ මෙල්බන් අතර දැනටමත් ක්‍රියාත්මක වන සුපුරුදු දෛනික ගුවන් සේවාව වන UL604 යානය කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එම දෛනික ගුවන් යානය සෑම දිනකම අලුයම 00:20 ට කොළඹින් ගමන් අරඹා පස්වරු 14:20 ට මෙල්බන් නුවරට ළඟා වන අතර, නැවතත් පස්වරු 16:10 ට මෙල්බන් නුවරින් පිටත් වී රාත්‍රී 22:25 ට කොළඹට පැමිණේ. ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් කරා පියාසර කරන මගීන් අතර බහුලව භාවිත වන මෙම දෛනික සේවාවට අමතරව නව ගුවන් වාර එක්වීම, ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ට සිය ගමන් අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන වේලාවන් තෝරාගැනීමට පුළුල් අවස්ථාවක් උදා කර දෙයි. එමගින් ඔවුන්ට සිය මව්බිමේ වෙසෙන ඥාති හිතමිත්‍රාදීන් සමග පවතින සබඳතා වඩාත් සමීපව පවත්වාගෙන යාම සඳහා විශාල පහසුවක් සැලසේ.