කලින් වෙනත් ජංගම දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි කර ඇති වාහන සඳහා ජාතික ඉන්ධන අවසරපත්‍රය හෙවත් QR කේතය නැවත ලබා ගැනීමේ නවතම ක්‍රමවේදයක් අද (19) දිනයේ සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
2026 වසරේ මාර්තු 14 වැනි දිනට පෙර ඉන්ධන QR කේතය සඳහා ලියාපදිංචි කර තිබූ වාහනයක හිමිකරුවන්ට, එම ලියාපදිංචිය සිදු කළ දුරකථන අංකය මේ වන විට භාවිතයේ නොමැති වීම හේතුවෙන් හෝ එය වෙනත් පාර්ශ්වයක් සතුවීම නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. මහජනතාවට පැනනැගී තිබූ එම ගැටලුව මඟහරවා ගනිමින් වඩාත් පහසුවෙන් සිය QR කේතය යාවත්කාලීන කර ගැනීමට මෙම නවතම විශේෂාංගය හරහා අවස්ථාව උදා කර දී ඇත.
මෙම නව පහසුකම ප්‍රයෝජනයට ගැනීම සඳහා අදාළ වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කිරීම අනිවාර්ය වන අතර, ඒ සඳහා වාහන ලියාපදිංචි අංකය මෙන්ම එහි චැසි අංකය ද පද්ධතියට ඇතුළත් කළ යුතු වේ. යම් වාහනයක් 2026 මාර්තු 14ට පෙර වෙනත් දුරකථන අංකයක් මඟින් ලියාපදිංචි වී තිබුණ ද, තමා සතු නිවැරදි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු පවතින පැරණි ලියාපදිංචිය අවලංගු කර නව දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි වීමට මින් අවකාශය සැලසේ. එහිදී පද්ධතියේ ඇති 'Override' විකල්පය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වාහනයට සම්බන්ධව පැවති පැරණි ගිණුම සම්පූර්ණයෙන්ම දත්ත ගබඩාවෙන් මැකී යන අතර, පරිශීලකයාගේ නව තොරතුරු ඇතුළත් ගිණුම වහාම සක්‍රීය තත්ත්වයට පත් වෙයි.
මෙම ක්‍රියාපටිපාටිය හරහා පෙර පැවති ගිණුම අවලංගු වන බැවින් කලින් එම වාහනය වෙනුවෙන් ලියාපදිංචි වී සිටි පරිශීලකයාට හිමිව තිබූ ප්‍රවේශය සහ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අහිමි වී යනු ඇත. ඒ අනුව මෙතෙක් කල් වෙනත් අයෙකුගේ භාවිතයේ පැවති හෝ අක්‍රීය දුරකථන අංකයකට සම්බන්ධ වී තිබූ වාහනයක නියම හිමිකරුට කිසිදු බාධාවකින් තොරව තම ඉන්ධන කෝටාව ලබා ගැනීමට මෙයින් හැකියාව ලැබේ. කෙසේ වෙතත්, තමන්ට නීත්‍යානුකූල අයිතියක් නොමැති වෙනත් අයෙකුගේ වාහනයක ඉන්ධන QR දත්ත ඉවත් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මෙම නව පහසුකම භාවිත කරමින් වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු https://fuelpass.gov.lk/ යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කර ගත හැකිය.

